If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, July 18, 2011

මුළුමනින් සතුටු නෑ-අවසන් තීරණය හෙටයි..!

අද දෙරණ 18/07/2011

රජය සමග පැවැත්වූ සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන්ට මුළුමනින්ම සෑහීමකට පත්විය නොහැකි බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එසේ වුවද ආචාර්යවරුන්ගේ වැටුප් තල සංශෝධනයට අදාළව රජය විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සතුටුවිය හැකි බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියි.

අතිරේක වශයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

පසුගිය අයවැයෙන් යෝජිත පර්යේෂණ දීමනාවට අදාළ කොන්දේසි ඉවත් කිරීම,වැටුප් විෂමතා ඉවත්කිරීමේ වැඩපිළිවෙළේ ඉදිරි පියවර,තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලැබෙන කාලය වසර 7 සිට 6 දක්වා අඩුකිරීම ආදී ඉල්ලීම් පිළිබඳ රජයේ එකඟතාවය නොලැබුණු බව නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.

එසේ වුවද වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හැරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්,ඒ පිළිබඳ අවසන් තීරණය හෙට සවස 4.00 ට රැස්වන විශ්ව විද්‍යාල ආ‍චාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව විසින් තීරණය කරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.