If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, June 4, 2011

විශ්ව විද්‍යාල අර්බුධය කොයිබටද?

සුදේශ් මන්තිලක මහතා පේරදෙණිය විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබයි. ඔහු විසින් රචිත පහත ලිපිය සරසවි ගුරුවරුන්ගේ සැබෑ ගැටලු පිළිබඳව අහිංසාවාදී පාපොච්චාරණයක් ලෙස හඳුනා ගත හැකිය. සැබවින්ම ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියම සතු වූ ශක්තිය ක්‍රමික සංකෝචනයකට භාජනය වෙමින් තිබෙන අතර මේ මඟින් නිදහස් අධ්‍යාපනය වෙනුවට මුලික අධ්‍යාපනයේ සිට සියල්ලම මුදල් මත යැපෙන තත්වයට සම්පුර්ණයෙන්ම පත් වීමේ අවධානම තිබේ. එසේම ආණ්ඩුවේ අය වැය මඟින් අධ්‍යාපනය සඳහා ලබා දෙන මුදල ක්‍රමික අඩුවීමකටද ලක් විය හැකිය. මේ නිසා ප්‍රශ්න විසඳීම වෙනුවට පවතින තත්වය අවුල් කිරීමේ භයානක නැඹුරුවකට තල්ලු වීමේ ඉඩ ඇත. ලේඛකයා ඉදිරිපත් කරන ප්‍රයෝගික අවට පිටාව ඉතා පැහැදිලිය. පවතින තත්වය වඩාත් සංකීරණ වුවහොත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමුහ වශයෙන් ඉවත් විය හැකිය. සුදේශ් මන්තිලක මහතාගේ අදහස් ලංකා ගාඩියන් කතෘ මණ්ඩලය විසින් කිසිඳු සශෝධනයකින් තොරව ඉදිරිපත් කරන්නෙමු - කතෘ

සුදේශ් මන්තිලක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් විවිධ මත පුවත් පත්වල පළවන අවස්ථාවක ඉතාම මෑතකදී විශ්වවිද්‍යාලයට සම්බන්ධවූ තරුණ කථීකාචාර්යවරයෙකුගේ අදහස් ජනතාවට දැනගැනීමට සැලැස්වීම යුතුකමක් ලෙස සිතමි.

ශාස්ත්‍රවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථයක් සහිතව ශ්‍රී ලංකාවේදී සමත්වූ මා හට ස්විට්සර්ලන්තය, එංගන්තය සහ ඇමරිකාව යන රටවලදී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කරන්නට අවස්ථාව ලැබුණි. පශ්චාත් උපාධිය අවසන්වූ මා හට ස්විට්සර්ලන්තයේදී සහ ඇමරිකාවේදී "ලොකු වැටුප්" ලැබෙන රැකියා අවස්ථාවන් ලැබුණද මා තෝරා ගත්තේ ලංකාවට පැමිණ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ) ලෙස සේවය කිරීමයි. ඒ කරුණු කිහිපයක් නිසාවෙනි.
  • වෘත්තියේ ස්වාධීනත්වය
  • සමාජයේ ගෞරවාන්විත රැකියාවක් වීම
  • මව්බිමේ අධ්‍යාපනයට වැදගත් සේවයක් කළ හැකි වීම
  • ඉගැන්වීම හා පර්යේෂණය මා ඉතා කැමත්තෙන් කරන කාර්යයන් වීම
  • ලැබෙන වැටුප මාගේ අධ්‍යාපන කටයුතු, පර්යේෂණ කටයුතු හා පෞද්ගලික වියදම් සඳහා ප්‍රමාණවත් වේ යැයි සිතීම

එහෙත් වර්තමානයේ කණගාටුදායක ලෙස මා අපේක්ෂා කළ තත්වයන් පිරිහෙමින් පවතී. වෘත්තීය ස්වාධීනත්වය හා සමාජයේ ගෞරවාන්විත රැකියාවක්ය යන කාරණාවලට යම් යම් බලපෑම් එල්ලවෙමින් තිබේ. තෘප්තිමත් වැටුපක් නොමැති වීමද වර්තමානයේ ප්‍රබල ගැටලුවක් වී ඇත. ඇයි මට ලැබෙන වැටුප ප්‍රශ්නයක් වෙන්නේ? මම ම කල්පනා කොට බැලුයෙමි.

විශ්වවිද්‍යාලවල බොහෝ තරුණ ආචාර්යවරුන් හා ආචාර්යවරියන් තම තරුණ ජීවිත අසීමිත ලෙස කැපකරන්නේ තම දෙපාර්තමේන්තුවල, පීඨවල, හා විශ්වවිද්‍යාලවල අභිවෘද්ධිය සඳහාය. අධ්‍යාපන කටයුතු හා පර්යේෂණ හැරුණු කොට අප සක්‍රිව දායකවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කෙරෙන ක්ෂේත්‍ර චාරිකා, විවිධ ක්‍රියාකාරකම්, වැඩසටහන්, ව්‍යාපෘති බොහෝවිට අවසන් වන්නේ මුදල් පසුම්බියෙන්ද වැඩි කොටසක් හිස් කරමින්ය. ඒ අප මුදල් කළමණාකරණය නොදන්නා නිසා නොව, ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හීදී ශිෂ්‍යයන්ගේ බර සැහැල්ලු කිරීම සඳහා විය හැකිය. නොඑසේනම් දෙපාර්තමේන්තු, පීඨ, හා විශ්වවිද්‍යාල වෙනුවෙන් කළ යුතු යැයි අපට හැඟෙන දායකත්වයන් කිරීමට ප්‍රතිපාදන ඇතත් නැතත් කටයුතු කරන නිසාවෙන් විය හැකිය. විශ්වවිද්‍යාලවල තරුණ ආචාර්යවරුන්ගේ කැපවීම කොතෙක්දැයි මැනැවින්ව දන්නෝ අංශාධිපතිවරු හා පීඨාධිපතිවරු වෙත්. පසුම්බියට තර්ජනයක් වුවත් අප විශ්වවිද්‍යාල වෙනුවෙන් සේවය කරන්නේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සේවය කරන්නේ ඉතාම කැමැත්තෙනි. අපගේ කැමැත්ත එසේ වුවත්, ඒ සියල්ල සිදුකොට ඉතිරිවන වැටුප තෘප්තිමත් පෞද්ගලික ජීවිතයක් ගත කිරීමටනම් ප්‍රමාණවත් නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම නිරන්තර අලුත් විය යුතුය. ඔවුන්ගේ දැනුම ජාත්‍යන්තරව පවතින ශාස්ත්‍රීය කතිකාව සමඟ යාවත්කාලීන විය යුතුය. ඒ සඳහා වැදගත් වන්නකි ජාත්‍යන්තර සම්මේලන හා සම්මන්ත්‍රණවලට සහභාගීවීම. සංවිධායකයන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබුනොත් හෝ රාජ්‍ය නොවන ආයතන මගින් ලබාදෙන ඉතාම සීමිත ප්‍රතිපාදන හැරෙන්නට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ජාත්‍යන්තර සම්මේලනයකට හෝ සම්මන්ත්‍රණයකට සහාභාගීවීම ගැන සිතන්නටවත් නොහැකිය. අපගේ පර්යේෂණ පත්‍රිකා ජාත්‍යන්තර සම්මේලන සඳහා තෝරා ගන්නා අවස්ථා බොහෝය. එහෙත් ඒවාට සහභාගි වීමටනම් අපට අවස්ථාවක් නොලැබේ. එම දැනුම, පුහුණුව ලබා ගැනීමට අපේ වැටුප අපිට ඉඩ දෙන්නේ නැත.

මෙවැනි තත්වයක් යටතේ ආචාර්යවරුන්ගේ වැටුප තෘප්තිකර නොවීම ගැටලුවක් බවට පත් වී ඇත. විදේශීය අධ්‍යාපනය ලැබුවත් දේශීය අධ්‍යාපනය ලැබුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්තමාන ලාංකික බුද්ධිප්‍රවාහයේ වැදගත්ම කොටසකි. අපගේ උවමනාව "ලොකු වැටුපක්" ලබා ගැනීම පමණක් ම නම් වෘත්තීය ක්‍රියා මාර්ගවලට නොගොස්, ආණ්ඩුවට කරදර නොකොට කළ හැකි දේ බොහෝ ඇත. වර්තමානයේ විශ්වවිද්‍යාලවල රැඳී සිටින්නේ වෙනත් වෘත්තියකට යා නොහැකිව මෙහිම රැඳී සිටින පිරිසක් යැයි ආණ්ඩුවට තොරතුරු සපයන්නන් ප්‍රකාශකොට ඇති බව කියැවේ. එය පිළිගෙන ඇත්නම් ආණ්ඩුව සිටින්නේ මුලාවකය. ආචාර්යවරුන්ගෙන් සියල්ලටමපාහේ විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත්ව ලොකු වැටුප්වලට පෞද්ගලික අංශයේ සේවය කළ හැකිය. තමන්ගේම අධ්‍යයන-පර්යේෂණ ආයතන පිහිටුවාගත හැකිය. දේශීය හෝ විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලට සේවය කළ හැකිය. විදේශීය අධ්‍යාපන ආයතනවල, පර්යේෂණ ආයතනවල හෝ වෙනත් ආයතනවල සේවය කළ හැකිය (දියුණු රටවල් බුද්ධිමතුන් තම රටවල රැකියාවලට ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදා ඇති බවද මෙහිදී සිහිපත්කළ යුතුය). එබැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹී සිටින්නේත්, ආණ්ඩුවට කරදර කරන්නේත් වැටුප සඳහා ම නොව තෘප්තිමත් ජීවන තත්වයක් රඳවාගනිමින් ලංකාවේ බුද්ධියේ කේන්ද්‍රය ශක්තිමත් කිරීම සඳහාය. එබැවින් ජනාධිපතිතුමා, මැති-ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, සභාපතිවරුන් හා ජනතාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් රාජ්‍යවිරෝධී, අධිරාජ්‍යවාදී එකක් යැයි වැරදි ලෙස අර්ථකථනය නොකොට, එය ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ අනාගත වර්ධනය, පැවැත්ම තහවුරු කිරීම සඳහා කෙරෙන ඉල්ලීමක් ලෙස සැලකීම යුක්ති සහගතය, නුවණට හුරු වන්නේය. ලංකාව ආසියාවේ බුද්ධියේ කේන්ද්‍රය බවට පත් කිරීම සඳහා බුද්ධිමතුන් රටතුළත්, රාජ්‍ය විශ්වවිද්‍යාලතුළත් රඳවා ගැනීම අත්‍යවශ්‍යය. ඒ අනුව බලනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් මහින්ද චින්තනය ශක්තිමත් කිරීම සඳහා වන්නක් ලෙසද සිතිය හැකිය.

දියුණු රටවල් කිහිපයකම මා අධ්‍යාපනය ලද බව දන්නා මාගේ සමකාලීන මිතුරන් මගෙන් නිතර අසන ප්‍රශ්න දෙකක් ඇත. "ඇයි ආපහු ආවේ?" හා "ආයෙ එහෙ යන්න පුළුවන් නේද?" යනු ඒවායි. විශ්වවිද්‍යාලයට සම්බන්ධව මව්බිමේ අධ්‍යාපනයට වැදගත් සේවයක් කළ හැකි, තෘප්තිමත් වෘත්තියක් වෙනුවෙන් මම නැවත ලංකාවට ආ බව කියූ පසු මා මිතුරෝ එම ප්‍රශ්නය නැවත නො ඇසූහ. "ආයෙ එහෙ යන්න පුළුවන් නේද?" යන ප්‍රශ්නය මම එදා එතරම් වැදගත් කොට නොසැලකූ හෙයින් එයට වචනයෙන් පිළිතුරක් නොදී, හිස සොළවා හිනාවකින් "ඔව්" යන්න ප්‍රකාශ කළෙමි. එහෙත් අද තත්වය වෙනස්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තිය පිළිබඳ තෘප්තිමත්බව හීනවෙමින් යන මෙවැනි වටපිටාවක "ආයෙ එහෙ යන්න පුළුවන් නේද?" යන ප්‍රශ්නය නොබෝ දිනකදී මට ම අසා ගැනීමට සිදුවේ වී යැයි බලවත් කළකිරීමක් මා තුළ ඇති වී ඇත. බලවත් කළකිරීමට හේතුව, තෘප්තිමත්වහිඳ ශ්‍රී ලාංකිකයාට සේවය කිරීමට නොහැකි තත්වයක් අද මට උදාවී තිබීමයි.