If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, June 4, 2011

නිදහස්‌ අධ්‍යාපනය වනසන, මූල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටුකරන මේ ආණ්‌ඩුවේ කුමන්ත්‍රණ පරාජය කිරීමට සියලූ දෙනා එක්‌විය යුතුයි

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

පියසේන දිසානායක

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුව දී නිදහස්‌ අධ්‍යාපනය විනාශ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටුකරන ආණ්‌ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් ඒකරාශි විය යුතු යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේදී පැවසීය.

මේ යුද පුහුණුවෙන් සිදුවන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම සහ තර්ක ඥානය දියුණු වීම නොව මොටවීම යෑයි ද හෙතෙම අවධාරණය කළේය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස්‌ පළ කළේ නීති විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ ජාතික සේවක සංගම් මූලස්‌ථානයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාවට ප්‍රථම පොලිස්‌ වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත් කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ රොෂෙන් ශානක තරුණයා වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාදවයක්‌ පවත්වමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ඔහුට ගෞරව දැක්‌වූහ.

අනතුරුව එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ එක්‌සත් ජතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ආණ්‌ඩුව නිවැරදිව වැඩ කටයුතු කළා නම් කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවය කළ රොෂෙන් ශානක තරුණයාගේ ජීවිතය අපට ආරක්‍ෂා කර ගැනීමට හැකියාව තිබුණා. කෙසේ නමුත් ආණ්‌ඩුව එසේ ක්‍රියා නොකළ නිසා වටිනා තරුණ ජීවිතයක්‌ අපට අහිමි වූ බව කිව යුතුයි.

පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසටත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සහ නායකයන්ට අවස්‌ථාව දෙන ලෙසත් එක්‌සත් ජාතික පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියා.

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදල, සේවා නියුක්‌තියන්ගේ භාර අරමුදල සහ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ආරක්‍ෂා කරන ලෙසට අප කළ ඉල්ලීම පිළිගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා අදාළ කණ්‌ඩායම කැඳෙව්වා නම් මේ අවාසනාවන්ත තත්ත්වය උදාවන්නේ නැහැ.

මේ අහිංසක තරුණයාගේ ජීවිතය අපට අහිමි වූයේ අප කළ ඉල්ලීම පරිදි ආණ්‌ඩුව අදාළ කණ්‌ඩායම් සමඟ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක්‌ ලබාදීමට කටයුතු නොකළ නිසයි.

මිනිසුන් වෙඩි තබා ඝාතනය කොට කම්කරු බලවේගයත් ආණ්‌ඩුවට එරෙහිව නැගී එන තරුණ බලවේගයත් කිසිසේත් මර්දනය කළ නොහැකි බව පැහැදිලිව කිව යුතුයි. කෙසේ නමුත් ආණ්‌ඩුව විවිධ ක්‍රියාමාර්ග සහ උපාය උපක්‍රම ඔස්‌සේ ආණ්‌ඩුවට එරෙහි බලවේග මර්දනය කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා.

තරුණ බලවේගය මර්දනය කිරීමේ ආණ්‌ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව මේ ස්‌ථානයට ඒකරාශි වී සිටින නීති විද්‍යාලයීය නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් අප පිළිගන්නවා.

විශ්වවිද්‍යාලයට තේරී පත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල්වීමටත් ප්‍රථම යුද පුහුණුවක්‌ ලබාදීමට ආණ්‌ඩුව මේ වන විට ක්‍රියා කරමින් සිටිනවා. මේ පුහුණුව යටතේ දැනට අවි ආයුධ පුහුණුව ලබා නොදුන්නාට අනෙකුත් සියලුම යුද හමුදා පුහුණු මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙනවා.

උතුරු කොරියානු විශ්වවිද්‍යාල ඇතුළු ලෝකයේ කිසිදු විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙබඳු යුද පුහුණුවක්‌ ලබා නොදෙනබව කිව යුතුයි. නායකත්ව පුහුණුව නමැති බෝඩ් ලෑල්ලට මුවා වී ඇත්ත වශයෙන්ම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබාදෙන්නේ යුද පුහුණුවක්‌ බව පැහැදිලියි.

මෙබඳු යුද පුහුණු හාවඩ් විශ්වවිද්‍යාලයේ සහ යේල් විශ්වවිද්‍යාලයේ පවා සිදුකෙරෙන බව කියන අය ඒ විශ්වවිද්‍යාල පිහිටා තිබෙන්නේ කිනම් රටකද කියාවත් දන්නවා යෑයි මම සිතන්නේ නැහැ.

කෙසේ නමුත් ස්‌විට්‌සර්ලන්තය, ඊශ්‍රායලය සහ සිංගප්පූරුව ආදී රටවල් සුළු ප්‍රමාණයක්‌ ඒ රටවල සියලුම අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට එරට ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ යුද හමුදාවෙන්, ගුවන් හමුදාවෙන් සහ නාවුක හමුදාවෙන් අවුරුද්දක හෝ අවුරුදු දෙකක අනිවාර්ය යුද පුහුණුවක්‌ ලබාදෙනවා.

කෙසේ නමුත් ඒ රටවල විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ විශ්වවිද්‍යාල අධ්‍යයන කාලයේදී එබඳු යුද පුහුණුවක්‌ ලබා නොදෙන අතර අදාළ යුද පුහුණුවෙන් පසුව ඒ අයට විශ්විද්‍යාලයට ඇතුළු වී නිදහසේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.

ආණ්‌ඩුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මේ පුහුණුව නායකත්ව පුහුණුවක්‌ නොවන අතර එබඳු පුහුණුවකට තාප්පයේ එල්ලී ගමන් කිරීම ආදී හමුදාව පුහුණු අවශ්‍ය වන්නේ නැහැ.

තරුණ තරුණියන් සියල්ලන්ට යුද පුහුණුවක්‌ ලබාදීමට අවශ්‍යතාවයක්‌ තිබෙන්නේ නම් ආණ්‌ඩුව කළ යුත්තේ රටත් ජනතාවත් සමඟ ඒ සම්බන්ධයෙන් විවෘත සංවාදයක යෙදී කටයුතු කිරීමයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආණ්‌ඩුව ලබා දෙන මේ පුහුණුව විශ්වවිද්‍යාල පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය පවා පැහැදිලිව කියා තිබෙනවා.

මේ පුහුණුව විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු සඳහා අනුකූල නම් ඒ පුහුණුව අදාළ පනතට ද විශ්වවිද්‍යාල පාඨමාලාවට ද ඇතුළත් විය යුතුයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ලබාදෙන බවට මේ ආණ්‌ඩුව මහින්ද චින්තනය යටතේ දුන් පොරොන්දුව උල්ලංඝනය කරමින් ඒ වෙනුවට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුවක්‌ ලබා දී තිබෙනවා.

ආණ්‌ඩු කියන්නේ විශ්වවිද්‍යාලයන්හි ක්‍රියාත්මක වන නවක වදය නතර කිරීම සඳහා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ යුද පුහුණුව ලබාදෙන බවයි.

ලෝකයේ භයානකම නවකවදය ක්‍රියාත්මක වන්නේ යුද හමුදා, නාවුක හමුදා සහ ගුවන් හමුදා ආදියේ වන අතර ඇමරිකාව සහ එංගලන්තය ආදී දියුණු රටවල් ඒ නවකවදය නතර කිරීමට උත්සාහ කළත් තවමත් ඒ උත්සාහය සාර්ථක වී නැහැ.

පොලිසියේ සහ ආරක්‍ෂක හමුදාවන්හි ක්‍රියාත්මක වන නවකවදය නතර කිරීමට නොහැකි නම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන යුද පුහුණුවක්‌ ඔස්‌සේ විශ්වවිද්‍යාලයේ නවකවදය නතර කරන්නේ කෙසේද?

විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වන නවකවදය නතර කිරීම සඳහා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුවක්‌ ලබාදීම විසඳුමක්‌ නොවෙයි.

යුද පුහුණුවකින් සිදුකරන්නේ ඒ ඒ හමුදාවන්හි කරන අණ පෙරළා තර්ක කිරීමකින් ප්‍රශ්න නොකර ඒ අණ ක්‍රියාත්මක කිරීමට මනස සකස්‌ කිරීමයි. නමුත් විශ්වවිද්‍යාලයකින් සිදුකරන්නේ සහ බලාපොරොත්තු වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තර්ක ඥනය, අවබෝධය, ප්‍රශ්න කිරීමේ හැකියාව සහ දැනුම දියුණු කිරීමයි.

ඒ අනුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන යුද පුහුණුවෙන් සිදුවන්නේ අපේක්‍ෂා කරන පරිදි ඒ අයගේ ඒ තර්ක ඥනය, අවබෝධය, ප්‍රශ්න කිරීමේ සහ දැනුම දියුණු කිරීම නොව ඒ මානසිකත්වය මොට කිරීමයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආණ්‌ඩුව ලබාදෙන මේ යුද පුහුණුවෙන් සිදුවන්නේ උසස්‌ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීමයි. ආණ්‌ඩුව මේ සියල්ල සිදුකරන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් යොදවන ප්‍රතිපාදන කප්පාදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගසා ඇති ගිවිසුමේ කොන්දේසි අනුවයි.

ඒ කියන්නේ ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට වී උසස්‌ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කිරීමේ යෙදී සිටින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළට සියල්ලන් බලහත්කාරයෙන් ස්‌ත්‍රී දූෂණ සිදුකරන බව ලෝකයම දැක තිබෙන තත්ත්වය හමුවේ ඒ අය කියන සියල්ල අප පිළිගත යුතුද?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මේ යුද පුහුණුව අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ද ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තියටද, ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුමේ 8 වැනි වගන්තියට ද විරුද්ධයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුවක්‌ ලබාදීම සම්බන්ධයෙන් මහින්ද චින්තනයේ සඳහන් නොවන නිසා එම චින්තනය යොදවන්නේ මේ රටේ උගතුන් බිහිවීම නතර කිරීමටදැයි ප්‍රශ්න කරනවා.

නිදහස්‌ අධ්‍යාපනය විනාශ කිරීමේ සහ උගතුන් බිහිවීම නතර කිරීමේ ආණ්‌ඩුවේ මේ ක්‍රියාවලියට විරුද්ධව විරෝධතාව දැක්‌වීම අප සියල්ලන්ගේ වගකීම සහ යුතුකම වන බව කිව යුතුයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුවක්‌ ලබාදී නිදහස්‌ අධ්‍යාපනය විනාශ කරමින් උගතුන් බිහිවීම වළක්‌වන අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් වැඩි කිරීම ද ආණ්‌ඩුව මඟහැර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් වැඩි කිරීම සාධාරණ යෑයි කියන අමාත්‍යවරයා කෙසේ නමුත් ඒ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නොකරන බව ද කියා සිටිනවා.

මේ අවස්‌ථාවට එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති සහ මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජාතික යොවුන් පෙරමුණේ සභාපති සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විඡේවර්ධන සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාඡ් කාරියවසම් යන මහත්වරු ද එක්‌ව සිටියහ.


http://www.divaina.com/2011/06/04/news21.html