If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 20, 2011

විශ්වවිද්‍යාල සිසුන් දසදහසකට අරඹන නායකත්ව පුහුණුව කිසිසේත්ම මිලිටරි පුහුණුවක්‌ නොවෙයි

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල සිසුන් දසදහසකට ලබන 23 වැනිදා ආරම්භ කෙරෙන නායකත්ව පුහුණුව කිසිසේත්ම මිලිටරි පුහුණුවක්‌ නොවන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.

සති තුනක මෙම පුහුණු වැඩසටහනට එරෙහිව විවිධ මත පළ වුවත් කිසිදු දෙමව්පියෙක්‌ හෝ දරුවෙක්‌ ඊට විරෝධය පළ කර නැතැයි ද ඇමැතිවරයා කීවේය.

එස්‌. බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ මෙම පුහුණුව සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

සිසු සිසුවියන්ගේ නායකත්ව හැකියාව, ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම පුහුණු වැඩසටහන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සකස්‌ කර ඇතැයි ද විශ්වවිද්‍යාල ආචාර්යවරු එම දේශන සඳහා සහභාගි වන බව ද ඒ මහතා කීවේය. මෙම වැඩසටහන සම්බන්ධයෙන් පුංචි විරෝධයක්‌ ඇතත් කිසිදු දෙමව්පියෙක්‌ හෝ දරුවෙක්‌ ඒ පිළිබඳව කිසිදු විරෝධයක්‌ දක්‌වා නැතැයි ද මෙම සති තුනක කාලය දරුවන්ට අත්දැකීම් සහිත ඉතාමත් විනෝදජනක කාලයක්‌ වනවා පමණක්‌ නොව එම පුහුණු කඳවුරුවලදී ඉහළම රැකවරණයක්‌ ඔවුන්ට ලැබෙන බවද කී දිසානායක මහතා සිසුන්ට ඉතාමත් නිදහසේ කටයුතු කිරීමට අවස්‌ථාව තිබෙන බවත් සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව අදහස්‌ පළ කළ ඇමැතිවරයා පසුගිය අය වැයෙන් මෙම වසරට මුදල් වෙන්කර අවසන් හෙයින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට නම් අය වැය කණපිට පෙරළීමට සිදුවන බවද ඒ බව දන්නා ආචාර්ය සම්මේලනයට අවශ්‍ය අවුලක්‌ ඇති කිරීමට යෑයිද කියා සිටියේය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා(- ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින පුහුණු කඳවුරු මේ කාර්යයට තෝරා ගත්තේ එතරම් සිසු සිසුවියන් පිsරිසකට පුහුණුවක්‌ දෙන්න වෙනත් ස්‌ථානයක්‌ නොමැති නිසා. මේ සිසුන් විශ්වවිද්‍යාලයට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි මානසිකත්වයෙන්. ඒ මානසිකත්වය වෙනස්‌ කර නිදහස්‌ පුද්ගලයකු වශයෙන් සිතන පතන සිසු සිසුවියන් බිහි කිරීමයි අපේ අරමුණ. ආණ්‌ඩුව රුපියල් දශලක්‍ෂ 200 ක්‌ මේ සඳහා වැය කරනවා. මුල් අදියරට තෝරා ගන්නා දස දහසට සිසුවියන් 5931 ක්‌ අයත්. මෙම පුහුණුවෙන් පස්‌සේ සිසුන්ට අපි මාස තුනක ඉංගී්‍රසි හා තොරතුරු තාක්‍ෂණ පුහුණුවක්‌ ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා(- විශ්වවිද්‍යාලවලට තේරුණු සිසුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා ඔවුන් හැසිරිය යුතු ආකාරය ගැන කියලා පස්‌සේ විශ්වවිද්‍යාලයට ආවම කොක්‌ක ගහන්න ක්‍රමයක්‌ අපිට තිබුණේ. ඒ අය දෙන පුහුණුව වෙනස්‌. විශ්වවිද්‍යාලයට අලුතින් එන සිසු සිසුවියන් නවකවධයෙන් පීඩාවට පත් කරලා මහා විනාශයක්‌ කරන්නේ. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි විකල්පයක්‌ වශයෙන් නායකත්ව පුහුණු වැඩසටහන මා දකිනවා. මේ පුහුණුවෙන් පස්‌සෙ නවක සිසු සිසුවියන්ට දේශපාලන පක්‍ෂවල පෝස්‌ටර් අඳින්න අවශ්‍ය නැහැ. කැට හොල්ලන්න පෙළපාළි යන්න අවශ්‍ය නැහැ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්‌ මහතා(- මේ නායකත්ව පුහුණුවට හමුදා පුහුණුවක්‌ අදාළ වෙන්නෙ නැහැ. අපි දරුවන්ට එදිනෙදා කටයුතු කළ යුතු ආකාරය උගන්වනවා. ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යැමට උපදෙස්‌, ආහාර ගැනීම, ඇඳුම් ඇඳීම වැනි විවිධ ක්‍රියාකාරකම් අධ්‍යයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා. කාලය කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ අපි උපදෙස්‌ දෙනවා. රටේ සාමාන්‍ය නීතිය, ඉතිහාසය, ගැටුම් නිරාකරණය, මනෝ විද්‍යාව, සිරිත් විරිත් වැනි ක්‍ෂේත්‍ර පිළිබඳ හොඳ දැනුමක්‌ ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. මේ සති තුන සිසු සිසුවියන්ට ජීවිතයේ අමතක නොවන්නක්‌ බවට පත්වෙයි.

යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය මෝහන්දාස්‌ මහතා ද කතා කළේය.


Link: http://www.divaina.com/2011/05/20/news31.html