If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 20, 2011

සරසවි වරම් ලබන අයට හමුදා කඳවුරුවලදී දීමට යන පුහුණුවට එරෙහිව උසාවියට පෙත්සමක්‌


සරත් ධර්මසේන

2010 අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිට රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට වරම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සති 03 ක්‌ හමුදා කඳවුරුවල රඳවාගෙන විෂයයන් කීපයක්‌ පිළිබඳ මූලික දැනුමක්‌ සහ ශාරීරික අභ්‍යාස ලබාදීම සඳහා සැලැසුම් කර ඇති "නායකත්ව සහ ධනාත්මක සංවර්ධන ආකල්ප" නම් වැඩසටහන අවලංගු කරන්නැයි ඉල්ලා ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානයක්‌ ඊයේ (19 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

පෙත්සමෙන් කියා සිටින්නේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය හා ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට යන එම වැඩසටහන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කැමැත්ත විමසීමකින් තොරව ඔවුන් මත බලෙන් පැටවීමට යන්නක්‌ බවයි.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

විශ්වවිද්‍යාලවට ඇතුළත් කරගනු ඇතැයි අපේක්‍ෂා කරන සියලුම ශිෂ්‍යයන් අනිවාර්යයෙන්ම එකී වැඩසටහනට සහභාගි විය යුතු බවත් පළවෙනි කණ්‌ඩායමට පුහුණුව ලබාදීම දිවයිනේ හමුදා කඳවුරු රාශියකදී 2011 මැයි 23 දා ආරම්භ කරන බවත් ඉකුත් 16 දා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිවේදනය කරන ලදී.

එම වැඩසටහනට සහභාගි වීම අනිවාර්ය කර ඇති වැඩිදෙනෙක්‌ ශිෂ්‍යාවෝ වෙති. බොහෝ ශිෂ්‍යාවෝ තම දෙමවුපියන් හෝ සමීප ඥතීන් කිසිවකු ළඟ නැතිව පදිංචි නිවසින් බැහැර නැවතී දින ගණනාවක්‌ නැවතීමට කැමැත්තක්‌ නොදක්‌වති. බොහෝ දෙමවුපියන්ද විශේෂයෙන් ගැහැනු දරුවන් මෙසේ නිවසින් පිට යෑවීමට කැමැත්තක්‌ නැත.

ඉස්‌ලාම් ආගම අදහන ගැහැනු ළමයින්ට යෝජිත වැඩසටහනට සහභාගිවීමෙන් අසීරුතා රාශියකට මුහුණපෑමට සිදුවේ.

යෝජිත පුහුණු වැඩසටහන විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට වරම් ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට කිසිසේත්ම අදාළ නොවන්නකි. හමුදාවේ අය විසින් දෙනු ලබන පුහුණුවීම්වලට සහභාගිවීමට අකැමැති සිසුන්ද ඒ අතර සිටිය හැකි බැවින් ඔවුනට ඊට සහභාගිවීම අනිවාර්ය කිරීම තමන් කැමැති කාර්යයක යෙදීමට ඇති අයිතියට හා නිදහසට අයුතු ඇඟිලි ගැසීමකි.

එම පුහුණු වැඩසටහනට සහභාගි නොවුවහොත් එසේ ඉහළ ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගෙන සිටින ශිෂ්‍යයකුට වුවද රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීම ප්‍රතික්‌ෂේප වෙනු ඇත.

පුහුණු වැඩසටහනට සහභාගි වනවාද නැද්ද යන්න ගැන තීරණයක්‌ ගැනීමට අවස්‌ථාවක්‌ ලබා නොදීම ද හිතුවක්‌කාර, අත්තනෝමතික ක්‍රියාවකි.

රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට යටත් ආකාරයේ පුහුණු වැඩසටහනකට සහභාගිවීම අනිවාර්ය කිරීම කිසිදු නීතිමය පදනමක්‌ නැති ක්‍රියාවකි.

එබැවින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට තෝරාගන්නා ශිෂ්‍යයන්ට පුහුණු පාඨමාලාවකට සහභාගිවීම බලාත්මක කිරීම අසාධාරණ නීති විරෝධී මෙන්ම පුද්ගල නිදහසට අයුතු ලෙස ඇඟිලි ගැසීමක්‌ හැටියට තීන්දු කරන ලෙසද නිදහසේ සිතීමට ඒකරාශිවීමට, සංස්‌කෘතික අයතීන් භුක්‌ති වීඳීමට, සමාන සැලකීම් ලැබීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්‌ හැටියට තීන්දු කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

නීතිඥ ජී. ජී. අරුල් ප්‍රකාසම් මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, එහි සභාපති හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත



Link: http://www.divaina.com/2011/05/20/news33.html