If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, August 6, 2011

ජ,පුර, රුහුණ හා වයඹ සරසවිවල අංශ ප්‍රධානීන් අස්‌වීමේ තීරණයට එරෙහිව සිසුන් ගොනුකළ රිට්‌ පෙත්සම් අස්‌කර ගනිති

දිවයින 06/08/2011

සරත් ධර්මසේන

ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ හා වයඹ විශ්වවිද්‍යාල අංශ ප්‍රධානීන් සිය තනතුරු වලින් ඉවත්වීමට ගත් තීරණයට එරෙහිව එම ආයතන තුනේ සිසුන් තිදෙනකු විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලැබූ 'රිට්‌' පෙත්සම් පෙරේදා (04 වැනිදා) ඉල්ලා අස්‌කර ගන්නා ලදී.

අංශ ප්‍රධානින් තනතුරුවලින් ඉවත්වීමට හේතුවූ ඔවුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්නය විශ්වවිද්‍යාල බලධාරින් සහ ආචාර්යවරු අතර උසාවියෙන් පිටතදී ඇති කරගත් එකඟතාවයකට අනුව සමථයකට පත්කර ගෙන ඇති බැවින් මෙම නඩු කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන නොයැමට පෙත්සම්කරුවන් තීරණය කර ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා මහතා උසාවියට දැනුම් දුන්නේය. අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්‌කන්ධ රාජා හා විනිසුරු නලීන් පෙරේරා යන මහත්වරු හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන්ට එරෙහිව පැවරූ නඩුවද ඉකුත් සතියේ ඉල්ලා අස්‌කර ගෙන ඇත.