If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 15, 2011

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන තීරණය ලබන සතියේ - එතෙක්‌ වෘත්තීය ක්‍රියාමාර්ගත් දිගටම

දිවයින 15/07/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් වශයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අතර සාකච්ඡාවක්‌ ලබන සතියේදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී ගන්නා තීරණ සාමාජිකත්වයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු යෑයි එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින"ට ඊයේ (14 වැනිදා) පැවසීය.

වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හදිසි සාකච්ඡාවක්‌ ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා සම්මේලනයේ නියෝජිතයන් සහභාගි වූයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවය. එහිදී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප රුපියල් 115,000 ක්‌ දක්‌වා වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබිණි. එම යෝජනාවට සම්මේලනය එකඟතාව පළකර ඇත. එහෙත් ඉන් පහළ මට්‌ටමේ ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ එහිදී සාකච්ඡා කර නැත. ලබන සතියේ පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට හැකි වෙතැයි සම්මේලනය අපේක්‍ෂා කරයි.

එමෙන්ම කවදා සිට එම යෝජනා ක්‍රියාත්මක වන්නේද යන්න ගැනත් එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළැඹීමට හැකිවනු ඇතැයි සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කළේය.

තමන්ගේ ප්‍රශ්නවලට විසඳුමක්‌ ලැබීමට ඉඩකඩ විවර වී ඇති හෙයින් ලබන 19 වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා පාගමන අවලංගු කර එදින රැස්‌වීම පමණක්‌ පවත්වන බවද දේවසිරි මහතා පැවසීය. ඒ හැර වෙනත් කිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයක්‌ අත්හැර නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.