If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, July 14, 2011

‛‛විද්‍යාපීඨය විසින් වසර 45 ක කාලයක් ගොඩනගාගත් කීර්තිනාමයට අහිතකර ලෙස බලපානවා’’

Vikalpa 14/07/2011

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයා ගැනීම් මාධ්‍යතුල ප්‍රචාරය වීමත් සමග රට තුල ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් ගොඩ නැගී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා වෙත ලිපියයක් යොමුකරමින් එහි විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලය පවසා සිටී.

එහි කාලීන වැදගත්කම සලකා එම සම්පූර්ණ ලිපිය මෙසේ පළකරමු.
ආචාර්ය මණ්ඩලය,
විද්‍යාපීඨය,
කැලණිය විශ්වවිද්‍යාලය.
2011-07-04

උපකුලපතිතුමා,
කැලණිය විශ්වවිද්‍යාලය,
කැලණිය.
මහත්මයාණෙනි,

කැලණිය විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය අභියෝගයට ලක්වීම
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය 1967 දී ස්ථාපනය කරනු ලැබ මේ දක්වා කීර්තිමත් විද්‍යාඥයන් රැසක් ලොවට බිහි කරමින් විද්‍යා දැනුම බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ජාතිකවත් ජාත්‍යන්තරවත් පිලිගැනීමට ලක්ව ඇති බව අප හොඳින් දන්නා කරුණකි. මෙම පීඨයෙහි සියළු පර්යේෂකයන් විසින් සිය පර්යේෂණවල ප්‍රතිඵල පර්යේෂණ පත්‍රිකා හෝ දාර්ශණික සම්මන්ත්‍රණ වැනි පිලිගත් ක්‍රමවේදයන්ට අනුව යමින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර එම ප්‍රතිඵල නොයෙකුත් ශ්‍රාස්ත්‍රීය සංවාද තුල ඇගයීමකට ලක්වන බවද නොරහසකි.
කෙසේ වුවද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයා ගැනීම් මාධ්‍යතුල ප්‍රචාරය වීමත් සමග රට තුල ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් ගොඩ නැගී ඇත.

මෙම පර්යේෂණ දේව මණ්ඩලයක මගපෙන්වීම මත පදනම් වී ඇති බව ඉහත පර්යේෂක කණ්ඩායම විසින්ම විවිධ මාධ්‍ය මගින් වරින් වර ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එමෙන්ම දැනට භාවිතා කරනු ලබන පිළිගත් විද්‍යාත්මක මූලධර්ම අභියෝගයට ලක් කරමින් එම පර්යේෂකයන්ගේ ප්‍රධානියා වන කැලණිය විශ්වවිද්‍යාලයේ වත්මන් විද්‍යාපීඨාධිපතිීුමා විසින් මාධ්‍ය දැනුවත් කර ඇත. මෙම ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග තුලින් පොදු මහජනතාව තුලත් විද්‍යාත්මක ක්‍ෂෙත්‍රය තුලත් කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි, විශේෂයෙන් විද්‍යාපීඨය කෙරෙහි ඉතාමත් අයහපත් මතයක් ගොඩ නැගෙමින් පවතින බව ද දැනට ඉගෙනුම ලබන ඇතැම් ශිෂ්‍යයන් තුලද ව්‍යාකූල තත්වයක් හටගෙන ඇති බවද පෙනේ. මෙම තත්වය, විද්‍යාපීඨය විසින් වසර 45 ක කාලයක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩ නගාගත් කීර්තිනාමයට අහිතකර ලෙස බලපානවා පමණක් නොව අප පීඨයෙන් ඉදිරියේ දී බිහිවන විද්‍යාර්ථීන් ගේ ගෞරවය සහ සමාජ පිලිගැනීම ද අනතුරට ලක්කරන්නකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ආචාර්යවරුන්ගේ බහුතරය වන අපි බොහෝ දෙනෙක් මෙම පර්යේෂණවල ක්‍රමවේදයන් දැනගත්තේ මාධ්‍ය තුලින්ම පමණක් බව දන්වා සිටින අතර අපගේ ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු පිලිගත් විද්‍යාත්මක මූලධර්ම මත පමණක් සිදුකෙරෙන බව ඔබතුමාට අවධාරණයෙන් දන්වා සිටින අතර, කැලණිය විශ්වවිද්‍යාලයේත් එහි විද්‍යාපීඨයේත් ගෞරවය ආරක්ෂා කිරීම සඳහා නොපමාව මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙයට,
විශ්වාසී,
විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලය-කැලණිය විශ්වවිද්‍යාලය.
-----------------------------------------------------------------------------------------------
දිවයින 14/07/2011

පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින්
කැලණිය සරසවියේ අධ්‍යයන කටයුතු අඩාල කිරීමට
සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙනවා
විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ තාවකාලික ආචාර්ය මණ්‌ඩලය කියයි

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආචාර්යවරුන් පිරිසක්‌ විසින් විශ්වවිද්‍යාලය තුළ අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කිරීම සඳහා සූක්‍ෂම වැඩපිළිවෙළක නිරත වන බව එම විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ තාවකාලික ආචාර්ය මණ්‌ඩලය පවසයි.

ඒ සම්බන්ධව එම ආචාර්යවරුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

තම පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කටයුතු අඩාල කිරීම සඳහා ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී. බංකොලොත් දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත විද්‍යා පීඨ ආචාර්ය මණ්‌ඩලයක්‌ විසින් කැලනිය විශ්වවිද්‍යාලය තුළ අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කිරීම සඳහා ඉතා සූක්‍ෂම වූ වැඩපිළිවෙලක නිරතව සිටී. පසුගිය වසර පුරාවට එකදු සිසු ගැටුමක්‌ හෝ වාර්තා නොවූ කැලණිය විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය ගැටුමක්‌ නිර්මාණය කිරීම, සිසුන් බේද කිරීම, අහිංසක ශිෂ්‍යන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකර ඒ හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව පාරට බැස්‌සවීමට කටයුතු කිරීම, සිසුන්ට ප්‍රසිද්ධ ආයතනවල රැකියා දෙන බව පවසා විවිධ වූ කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා යොමුකරවා ගැනීම හා අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ වැටුප් හිඟයක්‌ මවා පෙන්වා ඔවුන්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුකරවා ගැනීම වැනි ඉතා නින්දිත වූ වැඩපිළිවෙළක්‌ උක්‌ත කී අන්තගාමී ආචාර්යවරුන් කීප දෙනා විසින් සිදුකරගෙන යනු ලබයි.

මෙහි එක්‌ පියවරක්‌ ලෙස පසුගිය දිනකදී විද්‍යා පීඨ උපාධි ශාලාවට (ධර්මාලෝක ශාලාවට) සරසවි සිසුන් බලහත්කාරයෙන් කැඳවා තම මතවාදය ඔවුන්ගේ ඔලුගෙඩි තුළට කැවීමට අන්තගාමී විද්‍යා පීඨ ගුරුවරුන් කිහිප දෙනකු විසින් උත්සාහ කොට ඇත. මෙම ක්‍රියාවට විරුද්ධවූ තාවකාලික ආචාර්යවරයකුට මෙම ස්‌ථානයට නොපැමිණෙන ලෙසට තර්ජනය කර ඇති අතර ඔහුට සේවයෙන් ඉවත් වන ලෙසටද බලපෑම්කර තිබේ. අහිංසක ආචාර්යවරුන් බිය ගන්වා ඔවුන්ට තර්ජනය කොට ඔවුන්ගේ ස්‌වාධීන මතය පාගා දමා තම අන්තගාමී මතය කැලණිය විශ්වවිද්‍යාලය තුළ පතුරුවාලීමට ඉහත විද්‍යා පීඨ ගුරුවරුන් කිහිප දෙනා විසින් උත්සාහ කරමින් සිටී. මෙම අන්තගාමී ගුරුවරුන් පිරිස ධනේශ්වරවාදයෙන් මත්වූ හා රැඩිකල්වාදයට ලොල්වූ පිරිසක්‌ වන අතර තමන්ගේ ඒකාධිකාරයක්‌ සමස්‌ත විශ්වවිද්‍යාලය පුරා පැතිරවීමේ අරමුණ ඇතිව ඉහත සංවිධානාත්මක කටයුතු සිදුකරන බව අනාවරණය වී තිබේ. ඉහත ශාලාවේදී තම මතවාදය ඉදිරිපත් කිරීම සඳහා මොවුන්ගත් උත්සාහය සිසුන් ඉදිරියේ ඉතා නින්දිත ලෙස පරාජයට පත්වී ඇති අතර උක්‌ත කී අන්තගාමී විද්‍යා පීඨ ගුරුවරුන් හට සිසුන්ගේ දැඩි විරෝධයද එල්ලවී ඇත. මෙහිදී මොවුන්ගේ මතය අභියෝගයට ලක්‌ කරමින් සිටි මහාචාර්යවරියකගේ දේශනයට බාධා කොට දෙනෝදාහක්‌ ඉදිරියේ ඇයගේ මයික්‍රෙµdaනය විසිකොට එය විසන්ධි කිරීමට තරම් ඉහත විද්‍යා පීඨ අන්තගාමී ආචාර්යවරුන් පිරිස සැහැසි වී ඇත.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ විද්‍යා පීඨ ගුරුවරුන් ගැන සොයා බැලීමේදී මොවුන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ සේවය කරමින් මසකට රුපියල් ලක්‍ෂයකට වඩා වැඩි වැටුපක්‌ ලබමින් පසුගිය දිනවලදී පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරවල වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පෙරමුණේම ගමන් කර තිබේ. මොවුන්ගෙන් සමහරෙක්‌ පසුගිය මස තුළ තම ස්‌වෙච්ඡා තනතුරින් ඉල්ලා අස්‌වී ඇති නමුත් එම තනතුරට අදාළ වැටුප ඉතා නිර්ලඡ්ජිතව ලබාගෙන තිබේ. තවද එම තනතුරටද අදාළ රාජකාරි කටයුතු තම ආයතන ප්‍රධානියාගෙන් සඟවා තබා ගැනීමටද මොවුන් ක්‍රියාකර ඇත. ඉහත සඳහන් කළ කරුණු පිළිබඳ අදාළ බලධාරීන් තම අවධානය යොමුකොට විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය.

මෙම කරුණුවලට අමතරව සඳහන් කළ යුතු විශේෂ යමක්‌ ඇත. එනම් මෑත ඉතිහාසයේ සිදුකළා වූ අතිවිශිෂ්ටතම පර්යේෂණයද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන්ම බිහිවීමය. එනම් "රජරට වකුගඩු රෝගයට හේතුව අනාවරණය කර ගැනීමයි." ඉහත පර්යේෂණයේ නියමුවන් වන කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ අප්‍රතිහත ධෛර්යෙන් මෙම අතිශය වැදගත්වූ සොයා ගැනීම සිදුකර ඇත.

පසුගිය වසර කිහිපය පුරාම දේශීයව හා විදේශීයව විවිධ පර්යේෂණ කණ්‌ඩායම් විසින් විවිධ වූ පර්යේෂණයන් සිදුකළද අපේක්‍ෂිත මට්‌ටමේ ප්‍රතිඵලයක්‌ ලබාගැනීමට අපොහොසත් විය. එනමුත් මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම එකී අභියෝගය ජයගෙන සමස්‌ත ශ්‍රී ලාංකීය ජනතාවම බියෙන් වෙලාගත් එම රෝගයට පාදක වූ හේතුව අනාවරණය කර ගැනීමෙන් සමස්‌ත ජාතියටම අමිල වූ මෙහෙවරක්‌ සිදුකර තිබේ. මෙම පර්යේෂණ කණ්‌ඩායම පවසන ආකාරයට කෘමිනාශක භාවිතයෙන් තොරව කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමෙන් ඉහත රෝගය මුලිනුපුටා දැමිය හැකිය. මේ සඳහා ගැලපෙන ක්‍රම වේදයක්‌ද ඔවුන් විසින් හඳුන්වාදී ඇති අතර අදාළ බලධාරීන්ගේ අවධානය මේ සඳහාත් යොමු කිරීමෙන් අපරට නැවතත් "පැරකුම් යුගයක්‌ කරා ගෙන යා හැකිය."