If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 22, 2011

පර්යේෂණ දීමනාවට අමතරව 33% ක වැටුප් වැඩිවීමක්‌ සරසවි ඇදුරන්ගේ සටන අවසන් - ඇමැති 956 චක්‍රලේඛය අස්‌කර ගනී

දිවයින 22/07/2011

නිලන්ත මදුරාවල

සියයට විසිපහක පර්යේෂණ දීමනාවට අමතරව සියයට තිස්‌තුනක වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ලැබීම නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (21 වැනිදා) සවස නතර කළහ.

නව වැටුප් ව්‍යුහයට අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප සියයට 28 කින්ද (එනම් රුපියල් පහළොස්‌ දහසකින් පමණද) මහාචාර්යවරයකුගේ වැටුප සියයට 33 කින්ද (එනම් රුපියල් දහහත් දහසකින් පමණද) වැඩි වෙයි. පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුගේ වැටුප සියයට 31 කින් (එනම් රුපියල් දහතුන් දහසකින් පමණද) දෙවැනි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුගේ වැටුප සියයට 31 කින්ද (එනම් රුපියල් දොළොස්‌දහසකින් පමණද) වැඩි වන අතර ස්‌ථිර කථිකාචාර්යවරයකුගේ වැටුප සියයට 25 කින් (එනම් රුපියල් අටදහකින් පමණද) වැඩි වෙයි.

මෙම වැටුප් වැඩිවීමට අදාළ ලිපිය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ඊයේ ලබා දුන්නේය.

මෙම වැටුප් වැඩිවීමට අමතරව සියයට 25 ක පර්යේෂණ දීමනාව ද ආචාර්යවරුන්ට හිමිවෙයි. එම දීමනාව ලබා ගත හැක්‌කේ ඊට අදාළ කොන්දේසි සපුරන්නේ නම් පමණි.

මීට අමතරව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කර තිබූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අංක 956 දරන චක්‍රලේඛය ඉවත් කිරීමේ ඉල්ලීමද පිළිගත් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය එම චක්‍රලේඛය ඉවත් කර ගන්නා බවට ලිඛිත පොරොන්දුවක්‌ ලබාදී තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ග නතර කිරීමෙන් පසුව යළි අංශ ප්‍රධානී තනතුරු භාර ගැනීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇති අතර එම ධුර දැරූ ආචාර්යවරුන්ම යළි පත් කරන ලෙස උප කුලපතිවරුන්ට දැනුම් දෙන්නැයි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට අද (22 වැනිදා) දන්වන බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින"ට ඊයේ පැවැසීය. එම ආචාර්යවරුන්ම යළි එම ධුරවලට පත් කිරීමට අමාත්‍යාංශය එකඟ වී සිටින බවද ඒ මහතා කීවේය.

මීට අමතරව ආචාර්යවරුන්ගේ ගැටලුවලට දිගු කාලීන විසඳුම් ලබාගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කිරීමටද අමාත්‍යාංශය එකඟ වී ඇත. ඒ සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් තිදෙනකු ද උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කරමින් එක්‌ සාමාජිකයා බැගින්ද එම කමිටුවට පත් කිරීමට නියමිතය. එසේම වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නියෝජිතයෙක්‌ද එම කමිටුවට අයත් වෙයි.

අංශ ප්‍රධානී තනතුරු අත්හරිමින් ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළේ පසුගිය මැයි මස 9 වැනිදාය. එදා සිට මේ දක්‌වා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු අඩාලව පැවතිණි. විභාගද කල් දැමීමට පියවර ගැනිණි.