If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, June 19, 2011

සරසවි ඇදුරන්ගෙන් ආණ්ඩුවට විකල්ප යෝජනාවලියක්: ආණ්ඩුවෙන් කොළ එලියක්

(ලංකා ඊ නිව්ස් - 2011.ජුනි.19, ප.ව.4.20) සරසවි ඇදුරු වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆූටා) විසින් විකල්ප යෝජනාවලියක් රජයට යෝජනා කර ඇති අතර ඒ පිළිබඳව ආණ්ඩුව දැනට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙත අදහස් දැක්වූ ෆූටා සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කීවේ. අදියර 3කින් යුත් විකල්ප යෝජනාවලියක් රජයට ඉදිරිපත් කර ඇති බවයි. මෙය 2008 යෝජනාවලියම අදියර 3 කට වෙන් කිරීමක් බවත් 1 වන අදියර රජය විසින් ඉෂ්ඨ කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන බවද පැවසීය. 2 වන අදියර මෙවර අය වැයෙන්ද 3 වන අදියර ඊළඟ වසරේ අයවැයෙන් ද ඉෂ්ඨ කළ යුතු යැයි විකල්ප යෝජනාවලියේ දැක්වෙන බවත් අවසානයේ 1970 වරෂයේ තිබූ අකාරයට මහ බැංකුවේ නිලධාරියෙකුගේ වැටුපට සරසවි ආචාර්ය වරයෙකුගේ වැටුප සමාන වන අකාරයට සකස් විය යුතු බවද මෙයට ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ එකඟතාවයක් තිඛෙන බවද ආචාර්ය දේවසිරි මහතා පැවසීය.

පළමු වන අදියර යනු කුමක්දැයි කළ විමසීමට ආචාර්ය දේවසිරි කීවේ සාකච්ඡාවක් පවතින නිසා වැඩි විස්තර මාධ්‍ය වෙත හෙළි නොකිරීමට තීරණය කර ඇති නමුත් එය පසුගිය අයවැයෙන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමක් මිස වෙනත් දෙයක් නොවන බව ය.

මේ පිළිබඳ උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පවසන්නේ සරසවි ඇදුරු වැටුප් ගැටළුව ලබන සතියේ දී විසඳිය හැකි බවයි. 'ඊයේ ෆූටා එක විකල්ප යෝජනාවලියක් දුන්නා. නිල නොවන මට්ටමින්ද අචාර්ය සංගමයේ විවිධ අය මා සමග කතා කළා. මම හිතන්නේ මේක පිළිබඳව සාධාරණ විසඳුමකට යන්න පුළුවන්. අපි වැටුප් හා තනතුරු කොමිසම සමගත් මුදල් අමාත්‍යාංශය සමගත් කතා කරමින් සිටිනවා. ජනාධිපතිවරයාත් කියලා තියෙනවා මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් තීරණයකට එන්න කියලා. මම හිතන්නේ ලබන සතියේදී මේ ප්‍රශ්ණය ගැන කිසියම් එකඟතාවයකට එන්න පුළුවන්. ආචාර්ය සංගමය මේ ප්‍රශ්ණය ගැන ධනාත්මකව බලමින් විසඳුමකට යන්න බලාපොරොත්තුව ඉන්නවා. අපිටත් විශාල ඕනෑ කමක් තියෙනවා' යි ඇමැති එස් බී දිසානායක මහතා පැවසීය.

මෙසේ සාකච්ඡා තිබුනද ලබන 21 වෙනිදා කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වීමට නියමිත ආචාර්ය වරුන්ගේ මහජන රැස්වීම ඒ ආකාරයෙන්ම පවත්වන බවත් එදිනට ලංකාවේ සියළුම සරසවි වල ආචාර්ය මහත්ම මහත්මීන් සහභාගී වන පාගමනක් කොළඹ සරසවියේ සිට පුස්තකාලය දක්වා සූදානම් කර තිඛෙන බවත් ෆූටා සභාපති ආචාර්ය දේවසිරි මහතා පැවසීය.