If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 16, 2011

පේරාදෙණියේ සරසවි ප්‍රධානීන්ගේ ඉල්ලා අස්‌වීමට එරෙහිව සිසුවකු ගොනුකළ පෙත්සම සලකා බැලීම අද

Divaina

සරත් ධර්මසේන

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන් සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට ගෙන ඇති තීරණයට එරෙහිව සිසුවකු ගොනු කළ පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය විසින් අදට (16 දාට) කල් තබන ලදී.

අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්‌ථාවේදී අංශ ප්‍රධානීන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙත්සමට විරෝධය පළ කළේය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුවකු ලෙස ලියාපදිංචි වී ඇතත් පළවැනි වසරේ පන්තිවලට සහභාගි වීම හෝ කිසිදු විභාගයකට පෙනී සිට නැති බවත් එනිසා ඔහු විශ්වවිද්‍යාල සිසුවකු හැටියට සැලකිය නොහැකි බවත් කී අධිනීතිඥ සුමන්තිරන් මහතා එවැන්නකුට අංශ ප්‍රධානීන්ගේ ඉල්ලා අස්‌වීම නිසා සිදුවී ඇති අසාධාරණයක්‌ හෝ දුක්‌ගැනවිල්ලක්‌ ගැන පෙත්සමකින් කරුණු ඉදිරිපත් කිරීමට නීතිමය අයිතියක්‌ නැති බවත් කීය. පෙත්සම්කරු විශ්වවිද්‍යාල සිසුවකු නොවන බව සනාථ කිරීම සඳහා දිවුරුම් පෙත්සමක්‌ හා ලියකියවිලි කීපයක්‌ද නීතිඥවරයා උසාවියට ඉදිරිපත් කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම දිවුරුම් පෙත්සමට හා ලියවිලිවලට තදින් විරුද්ධත්වය පළ කළේය. අනතුරුව සුදුසු අවස්‌ථාවන්හි විරෝධතා පිළිබඳව කරුණු දක්‌වන ලෙස දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ට දැනුම් දුන් අතර පෙත්සම්කරුගේ නීතිඥවරයාට පෙත්සම පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව සලස්‌වමින් අද (16 දා) පෙත්සම යළි කැඳවීමට නියම කෙරිණි.

පෙත්සම්කරු හලාවත වින්ස්‌පීල්ඩ් වතුයායේ පදිංචි ඩබ්ලිව්. ඒ යුක්‌ති ඒකාධීර නමැති අයෙකි.