If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 16, 2011

අත් අඩංගුවට ගත් සරසවි සිසුන්ට මිරිහාන පොලීසියේදී පහරදී බලෙන් ප්‍රකාශයකට අත්සන් අරන්

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.15, ප.ව.7.00) පසුගිය ජූනි මස 11 දින අත් අඩංගුවට ගෙන රැඳැවුම් නියෝග යටතේ මිරිහාන පොලීසියේ රඳවාගෙන සිටින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ් ප්‍රථම වසර සිසුන් තිදෙනෙකුට මිරිහාන පොලීසිය විසින් අමානුෂික ලෙස පහර දී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. දැඩි ලෙස පහර දී පොලීසියට අවශ්‍ය ආකාරයේ ප්‍රකාශවලට ඔවුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇතැයිද පසුව දින තිහක රැඳැවුම් නියෝගයක් ලබාගෙන වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා රහස් පොලීසියට භාර දී ඇතැයිද එම බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිරිපිටදීය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සිදුකළා යැයි චෝදනා කරමින් උසාවියට ඉදිරිපත්කර වැඩිදුර පරීක්ෂණ සඳහා යැයි කියමින් පැය 48ක රැඳැවුම් නියෝග යටතේ මිරිහාන පොලීසිය රඳවාගන්නා ලදී. මෙසේ සිසුන්ට පහර දී බලෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා රාජපාක්ෂික භාවය පෙන්වීම සඳහාත් දේශපාලන වාසි ලබාගැනීම සඳහාත් අහිංසක සිසුන්ගේ ජීවිත සමඟ මාරාන්තික ක්‍රීඩාවක නිරත වෙමින් සිටින බවත් සිසුන්ගේ නිවෙස්වලට පවා කඩා පනිමින් සිසුන්ට පහර දෙමින්ද සිසුන්ට බලපෑම් කරමින් සිසුන් ලවා බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් පොලිස් අත්අඩංගුවට හා සිරගත කරවමින්ද පොලිස් නිළධාරීන් සමග අමානුෂික ලෙස වද දෙමින්ද සිසුන් 50 කට අධික ප්‍රමාණයක් පංති තහනමකට ලක් කරමින් ද සිසුන්ගෙන් පලිගනිමින් සිටීන බවත් මේ හේතුව නිසා සිසුන්ගේ ජීවිත පවා අවදානමකට ලක්ව ඇතැයි ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.