If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, June 15, 2011

සරසවි ඇදුරු අරගලය නව දළුලයි: ආමි සිසුන් ලෙස පුහුණු කර වැඩක් නෑ අපි ලඟට ආපසු මොළ සුද්ධ කරනවා - මහාචාර්ය නවරත්න බංඩාර

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.15, පෙ.ව.7.00) නවක සරසවි සිසුන් හමුදා කඳවුරු වලට යවා සැලියුට් ගහන්න ලෙෆ්ට් රයිට් පුරුදු කරවන්න දරණ වියදම වැඩක් නොවන බවත් අපි සමග සිටින වසර 3-4 ක කාලය තුලදී අපි ඔවුන්ගේ මොළ ශුද්ධ කරන බවත් මහාචාර්ය නවරත්න බංඩාර මහතා පැවසීය.

ඔහු මෙසේ කීවේ පසුගියදා මාතර පැවැති සරසවි ඇදුරු මහජන සම්මන්ත්‍රණයේ ආරම්භක කතාව කරමිනි. ආණ්ඩුව මහා වියදමක් දරා සරසවි දරුවන් හමුදා කඳවුරු වලට යවා සැලියුට් ගස්සවා ලෙෆ්ට් රයිට් කරවලා ඉහලින් එන අණ පිළිපදින තත්ත්වයට මනස පත් කරවන එක නිකම්ම මුදල් නාස්තියක් බවත් ආචාර්යවරුන් සෙවනට එන සරසවි දරුවන් වසර 3-4 සිටින්නේ ආචාර්යවරුන්ගේ සෙවනේ බවත් ආණ්ඩුව දරුවන්ගේ මොළයට දමන දෑ අපි එහිදී ශුද්ධ කරන බව අනිවාර්ය බවත් මහාචාර්යවරයා පැවසීය. සරසවිය හදන්නේ 'යර්ස් සර්' කියන සිසුන් නොවන බවද ඔහු කීය.

සරසවි ඇදුරු අරගලය වැඩි පඩි ගැනීමේ අරගලයකට එහා ගිය එකක් බව පැවසූ මහාචාර්ය වරයා මෙය විශ්ව විද්‍යාල සතුව තිබූ තීරණ ගැනීමේ අයිතිය සරසවි පනතකින් දේශපාලකයන් අතට ගත් ගැනීම යළි විශ්ව විද්‍යාල වෙත ලබා ගැනීමේ අරගලයක් යැයිද කීය. දැන් විශ්ව විද්‍යාල අරින්නේ වහන්නේ දේශපාලනඥයා යැයිද විශ්ව විද්‍යාල වසා හෝ අරවා මේවා කරනවා යැයි දේශපාලනඥයා පම්පෝරි ගහන්නේ එනිසා යැයිද පැවසීය.

මෙය හුදෙක් ආචාර්යවරුන්ගේ අයිතිවාසිකම් ගැන ගෙනයන අරගලයකට වඩා උසස් අධ්‍යාපනය රැක ගැනීමේ අරගලයක් දක්වා මේ වන විට තල්ලූ වී ඇතැයි කී මහාචාර්යවරයාල වසර 31 ක් පරණ සරසවි පනතේ රාමුව වෙනස් කළ යුතු යැයිද අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් 6% ක් වෙන් කළ යුතු යැයිද පැවසීය. දැනට ලංකාවේ වෙන් කරන්නේ 3% ක් බව කී ඔහු මැලේසියාවේ 8% ක් ද ඉන්දියාවේ 10% ක්ද වෙන් කරන බවත් මෙම වෙන් කරන මුදල වියදමක් නොව ජාතියක් ලෙස කරන ආයෝජනයක් ලෙස පාලකයන් වටහා ගත යුතු බවත් පැවසීය.

සරසවි වල පහසුකම් ගැන කතා කරමින් මහාචාර්ය බංඩාර මහතා කීවේල තම අංශයෙන් සිසුන් 669 කට සතියකට දේශණ 39 ක් කරන බවත් නමුත් ඇත්තේ එකම එක ලැප්ටොප් එකක් පමණක් බවත් ය.

මෙම අරගලය සමාජ අයිතියක් ලෙස මිස ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ අයිතියක් නොවන මට්ටමට දැන් පැමිණ ඇතැයි ද පේරාදෙනිය සරසවියේ මහාචාර්ය නවරත්න බංඩාර මහතා වැඩිදුරටත් පැවසීය.