If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 9, 2011

"කැලෑ හමුදාව" කාගේද?

Divaina


ටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියක්‌ තිබේ. පොලිසියේ සිටින අතලොස්‌සක්‌ පොලිසියේ නම කැත කරමින්, ම්ලේච්ඡයන් ලෙස හැසුරුණ ද රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසිය වැදගත් මෙහෙවරක්‌ ඉටු කරයි. ශ්‍රී ලංකාව යනු වසර 30 කට අධික කාලයක්‌ ත්‍රස්‌ත ආක්‍රමණයන්ට නතු වූ දිවයිනකි. ත්‍රස්‌තවාදය පරාජය කිරීම වෙනුවෙන් රටේ ආරක්‍ෂක බලමුළු වන හමුදාව හා පොලිසිය ශක්‌තිමත් කිරීමට බලයට පත් සෑම රජයක්‌ම කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අද ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ හුස්‌ම ගත හැකි රටක්‌ ඉතිරි වී තිබේ.

එහෙත් දැන් රටේ ත්‍රස්‌තවාදයක්‌ද නැත. එහෙත් කුමන මොහොතකදී, කුමන මුහුණුවරකින් ත්‍රස්‌තවාදය මතු වේ දැයි කිසිවකුට කීමට නොහැකිය. විදෙස්‌ ආක්‍රමණ වුවද එලෙසය. ඒවා කොයියම් හෝ මොහොතක ඕනෑම රටකට එරෙහිව ක්‍රියාත්මක වීමට පුළුවන. ඒ නිසා රටකට පොලිසියක්‌, ත්‍රිවිධ හමුදාවක්‌ මෙන්ම යුදමය වශයෙන් ශක්‌තිමත් වීම ඉතා වැදගත්ය. එහෙත් අද අප මෙම තත්ත්වයේ නරක ප්‍රතිඵල අත්විඳිමින් සිටිමු.

කටුනායකදී එහි නරක ප්‍රතිඵල ඇස්‌ ඉදිරිපිටම දැක ගැනීමට රටටම හැකි විය. කැරැලි මර්දනයේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පොලිසියටද රජයටද අලුත් යමක්‌ සිතන්නට ඉතිරි කරමින් අසරණ තරුණයකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම ෙ€දවාචකයකි. කටුනායක ෙ€දවාචකය අවසන් වුවද රටේ ජනතාවගේ භාෂණයේ නිදහස පිළිබඳ අපට දකින්න ලැබෙන දෑ රටේ අනාගතයට එතරම් සුබදායක නොවන බව පෙනේ.

කටුනායකදී පොලිසිය වෙඩි තබා තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් රටම කැළඹීමට පත්විය. එම සිද්ධිය මුල් කරගෙන පොලිසියට හා රජයට එරෙහිව නැඟුන විරෝධතා රැල්ල තවමත් අවසන් නැත. පසුගිය සතියේ දිනක කොළඹ ලිප්ටන් වට රවුමේ, ජනතා විමුක්‌ති පෙරමුණ විසින් එවැනි උද්ඝෝෂණයක්‌ හා විරෝධතා ව්‍යාපාරයක්‌ පවත්වනු ලැබීය. ඊට ජනතා විමුක්‌ති පෙරමුණ ක්‍රියාකාරීහු මෙන්ම තවත් පිරිස්‌ පැමිණ සිටියහ. ජනතා විමුක්‌ති පෙරමුණේ විරෝධතාවට මඳක්‌ ඔබ්බෙන් කඩු, පොලු රැගත් කැලෑ හමුදාවක්‌ සීරුවෙන් තබා සිටිනු අප මාධ්‍ය මගින් දුටුවෙමු. ඊළඟ නිමේෂයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ විරෝධතාකරුවන් කඩු, පොලු හමුදාව අසලින් ඉදිරියට ගියේ නම් වන නස්‌පැත්තිය, කටුනායකදී කරගත් නස්‌පැත්තියටත් වඩා දරුණු වන්නට ඉඩ තිබිණි.

ජනතා විමුක්‌ති පෙරමුණේ වාසනාවට හෝ කඩු, පොලු හමුදාවේ වාසනාවට හෝ මේ රටේ සාමාන්‍ය ජනයාගේ වාසනාවට හෝ ඒ කඩු පොලු හමුදාව හා ගැටෙන්නට ජනතා විමුක්‌ති පෙරමුණ තල්ලු වී ගියේ නැත. කඩු, පොලු හමුදාවත්, ජනතා විමුක්‌ති පෙරමුණත් පසු කරගෙන ගමන්ගත් මගීහු අනේ අපොයි කියමින් තැති ගත්තේ මුන් මිනී මරාගන්නට හදනවා කියමිනි.

මේ කඩු, පොලු හමුදාව කාගේද? කඩු, පොලු හමුදාවේ නායකයා, උපදේශකයා කවුද? පොලිසිය හා ත්‍රිවිධ හමුදාවට අමතරව අපේ රටේ ආරක්‍ෂාවට, පොදු මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින්නට, සුරක්‍ෂිත කරන්නට මේ කඩු, පොලු හමුදාව ස්‌ථාපිත කළේද? මේ ප්‍රශ්න අප අබිමුව තිබේ.

ප්‍රභාකරන් මියගියත්, ත්‍රස්‌තවාදය වැළලුවත් අපේ රටේ අමුතු ආකාරයේ "චණ්‌ඩි" පිsරිසක්‌ රට පාලනය කරන බවක්‌ පෙනේ. කප්පම් කල්ලි, පාතාල කල්ලි යෑයි කියන කල්ලිද වරින් වර එළියට පැමිණෙති. මේ රටේ දේශපාලන අවශ්‍යතා පිරිමැසීමට බිහි කළ පාතාලය, පාතාල නායකයන් පොලිසියේ වෙඩි උණ්‌ඩවලට ලක්‌ව මිය නොයන්නට මේ රටේ මානව අයිතීන් බිමට සමතලා වී යන්නට ඉඩ තිබිණි. ගල්කටස්‌ තුවක්‌කුව, ඩප්පිය, රන්බෝ පිහි, සමග කෙමෙන් කෙමෙන් ටී. 56, හෑන්ඩ් ග්‍රෙනේඩ් දක්‌වා වූ අති නවීන ස්‌වයංක්‍රීය අවිවලින් සන්නද්ධ වූ පාතාල කල්ලි විනාශ කර දැමීමට වත්මන් ආණ්‌ඩුව ගත් එඩිතර, නිර්භීත තීරණවලට ජනතාව හිස නමා ආචාර කරති. නමුත් හිටි හැටියේ මේ මතු වූ කඩු, පොලු හමුදාව නිසා පාතාලය නැසීමත් හරි ව්‍යාජ නිරූපණයක්‌ දැයි කියා ජනතාව තුළ කුකුසක්‌ හට ගෙන තිබේ.

මේ රටේ කොතැනක හෝ සිටි අයකු කප්පම් ගත් විට, කාට හෝ පහර දුන් පසු ඇතැම් අයගේ නම් කියවිණි. දැන් බලන කල ඒ පුද්ගලයන් නොව මේ කඩු, පොලු අතින් ගෙන මැර හමුදා තබාගෙන සිටින්නේ අලුත් පරම්පරාවේ කෙළිකාරයන්ය.

මේ අතර පෞද්ගලික විශ්‍රාම වැටුපට එරෙහිව උද්ඝෝෂණ කරන්නට ගාල්ලට එන්න එපා යෑයි කියන "චණ්‌ඩි" ද සිටිති. ලිප්ටන් වටරවුමේ ජනතා විමුක්‌ති පෙරමුණ උද්ඝෝෂණ කරද්දී කඩු, පොලු අතින් ගත් මැරයෝ ඒ අසල සිටියේ උද්ඝෝෂකයන්ගේ ආරක්‍ෂාවටද? නැත. මේ මැරයෝ ජනතා විමුක්‌ති පෙරමුණේ අය නොව ජනතා විමුක්‌ති පෙරමුණට එරෙහි පාර්ශ්වයක මැරයන්ය. මොනව වුවත් ජනතා විමුක්‌ති පෙරමුණ අප දන්නා පරිදි 71, 88- 89 දී මෙන් අවි ආයුධ තබා කැටපෝලයක්‌වත් දැන් අතට ගෙන නැත. එසේ නම් මේ කාගේ මැර හමුදාවද යන්න රටේ සාමාන්‍ය ජනයාට නම් ප්‍රශ්නයකි.

මෙම මැර පිරිස කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා මන්ත්‍රීවරයකුගේ බවට චෝදනා එල්ල විය. මොවුන් ඔය කියන මන්ත්‍රීවරයාගේ ද, නැද්ද යන්න අපි නොදනිමු. ඒ පිළිබඳ සෙවීමට පොලිසියක්‌ තිබේ. පොලිසියේ රහස්‌ පොලිස්‌ අංශයක්‌ තිබේ. ඊට අමතරව ආණ්‌ඩුවක්‌ තිබේ. රජයේ මැති ඇමැතිවරු හා නිලධාරීහු සිටිති. ඒ නිසා අපි ඒ පිළිබඳ කතා නොකර සිටිමු.

කොළඹ පමණක්‌ නොව අනුරාධපුරයේ ද මේ මැර කල්ලි සිටිති. ඒ මැරයෝ අනුරාධපුර මහ නගර සභාවට පැන පෙන්වූ කෙළිය රටම දනිති. ඒ මැර කල්ලියේ කිහිපදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයටද පමුණවා තිබිණි.

ප්‍රභාකරන් නැති රට හරි සාමකාමී එකක්‌ වනු ඇතැයි සිතා ප්‍රභාකරන්ගේ මරණය අසා කිරිබත් පිස, කැවුම් කොකිස්‌, කෑ ජනතාව දැන් තුෂ්නිම්භූතව සිටිති. වැනසූ බව කී පාතාලය කඩු, පොලු රැගත් හමුදාවක්‌ ලෙස නිත්‍යානුකූල ප්‍රවේශයක්‌ ලබා ඇතැයි ද යන්න ජනතාවට සිතෙන්නට පටන් ගෙන තිබේ.

සැබැවින්ම අප මේ කඩු, පොලු හමුදාවට වැඩෙන්නට නොදී මෙතැනින්ම මේ සමාජයට ඉතා අහිතකර පිළිලය කඩා දැමිය යුතුව තිබේ.

පොලිසිය දිනෙන් දින ජනතාව අතර අපකීර්තියට පත්වීමේ අනිසි ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබේ. පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන විට, පීඩිත ජනයා යන්නේ "චණ්‌ඩි" ළඟටය. "චණ්‌ඩියා" සිය "චණ්‌ඩි පාට්‌" මගින් පීඩිතයාගේ ප්‍රශ්න විසඳන්නට වූ පසු කැකිල්ලේ තීන්දු ලැබේ. අපට අවශ්‍ය වන්නේ කැකිල්ලේ තීන්දු නොව, නීතියේ තීන්දුය. පොලිසිය දැඩි විවේචනයට ලක්‌ව සිටින මෙකල කඩු, පොලු අතින් ගත් හමුදාව කොළඹත්, අනුරාධපුරයෙත්, ගාල්ලෙත් රජ කරන්නට වූ පසු රට යළි අවරට යන්නට පටන් ගනී.

පොලිසියට සිය රාජකාරි නිසි ලෙස ඉටු කරන්නට නොහැකිව ඇත්තේ දේශපාලන අතපෙවීම් නිසා යෑයි කියන කියමනද පිළිගත යුත්තකි. පොලිසිය ස්‌වාධීන ආයතනයක්‌ වන ලකුණු ද නැත. අඩුම තරමෙ පොලිසියට බඳවා ගන්නා විට විනයක්‌ සහිත, ගුණදම්, මනුදම් පිරි තරුණයන්ට ප්‍රමුඛත්වය දීමට වත් පියවර ගත යුතුය. පොලිසියේ එවැනි ගුණවත්, නැණවත් නීතිගරුක, යුක්‌තිගරුක, මානව හිතවාදී ආදර්ශවත් පොලිස්‌ නිලධාරීහු සිsටිති. ඒ අය පෙරමුණට ගෙන අලුතින් පොලිසියට එන අය මානව හිතවාදී පොලිස්‌ නිලධාරීන් බවට පත්කිරීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක්‌ ද අවැසිය. පොලිසිය නීතිය නොරකින කල, පොලිසිය රටේ සාමය නොරකින කල කඩු, පොලු හමුදා පොලිසියට අයිති රාජකාරි ඉටු කිරීමට උත්සාහ දැරීම පුදුමයක්‌ද නොවේ.

මේ කඩු පොලු හමුදාව කාගේ වුවමනා මත මෙසේ ක්‍රියාත්මක වන්නේ දැයි යන ප්‍රශ්නය අපට තිබේ.

ඇතැමෙකු වීරයකු ලෙස මතු වන්නට මෙවැනි මෝඩ දෑ කිරීමට පුළුවන. තවකෙකු ජනාධිපතිවරයාගෙන් ලකුණු දමා ගැනීමට සිතා මැර කල්ලි යොදවා හෝ රජයට එරෙහි පාර්ශ්ව නිහඬ කිරීමට ගන්නා විනාශකාරී පියවර වන්නට ද පුළුවන. කෙසේ හෝ මේ නොහික්‌මුණු දේශපාලනඥයන්ගේ මෝඩ තකතීරු, මැර ක්‍රියාවලින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නමටත් කැළල් සිදු වේ.

මැර කල්ලි, කඩු, පොලු රැගත් හමුදාව මෙහෙයවන මේ ඔලමොට්‌ටල දේශපාලන "චණ්‌ඩි" මේ කරන්නේ රජය ආරක්‍ෂා කිරීම නොව රජය ජනතා අප්‍රසාදයට පත් කිරීම යෑයි අපගේ වැටහීමය.

ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්‌තවාදීන් මුලින්ම උදුරා, වළදමා ඊට උඩින් සවිමත් කොන්ක්‍රීට්‌ තට්‌ටුවක්‌ දැමුයේ වත්මන් පාලනයය. මේ පාලනය යටතේ පාතාලයද මුලිනුපුටා දැමිණි. දැන් මේ කඩු, පොලු, සහිත හමුදාවක්‌ ලෙස සැරිසරන්නේ අලුත් පරපුරක චණ්‌ඩිය, මේ චණ්‌ඩි රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරති. මානව අයිතීන්වලට වින කටිති. කඩු, පොලු හමුදාව කොටි ත්‍රස්‌තවාදය තරමටම හානිකරය. ඇතැමෙකු කියන්නේ මේ පිරිස අතර මහා අපරාධකරුවන් හා ජාවාරම්කරුවන් ද සිටි වගය. කෙසේ හෝ කඩු, පොලු අතින් ගත් මේ මැර හමුදාව පිළිබඳ සොයා බලා ඔවුන් කවුරුන්ද? කාගේ වුවමනාවක්‌ ඉටු කරනවාද? රැකවරණය සලසන්නේ කවුද යන්න හෙළි කරගත යුතුය.

පොලිසියට මොන තරමේ විවේචන තිබුණත් පොලිසියට එහා ගිය සිවිල් ඇඳුම් ඇඟලා ගත් මේ කඩු, පොලු හමුදාවක්‌ මේ රටට අනවශ්‍යය. පොලිසිය මේ පිරිස පිළිබඳ සෙවිය යුතුය. ආණ්‌ඩුවට ලෙංගතුකම පෙන්වමින් ආණ්‌ඩුව වට්‌ටන්ට බොරු වළවල් කපන මේ පිරිස කවුරුද යන්න ආණ්‌ඩුවේ උදවියද සොයා බැලිය යුතුය.

ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්‌තවාදය නසා, පාතාලය නමැති දේශපාලන හිතමිතුරා, මරා දමා අලුත් ගමනක්‌ අපි ගියෙමු. ඒ ගමන, කඩු, පොලු හමුදාවක්‌ ඉදිරියේ නතර නොකර "මව්බිම" ආරක්‍ෂා කිරීම කාගෙත් වගකීමය.


ශිරාන් රණසිංහ