If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, May 24, 2011

සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම මිලිටරිකරණයේ එක්‌ පියවරක්‌


- සජිත් ප්‍රේමදාස

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරාගෙන ඇති නවක සිසුන්ට හමුදා කඳවුරුවල පුහුණුවක්‌ ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයන් වෙනුවට "හමුදාකරණය රට තුළ තහවුරු කිරීමේ පියවරක්‌" බව එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ

වත්මන් ශ්‍රී ලංකාව වඩ වඩාත් ප්‍රජාතන්ත්‍රීකරණය කරනු වෙනුවට හමුදා රෙජිමේන්තුකරණය කිරීම සඳහා දරන උත්සාහයක්‌ ලෙස යෝජිත හමුදා පුහුණුව සැලකිය හැකිය. තරුණ, තරුණියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂිත වූ ආයතන රාශියක්‌ තිබියදී රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ මෙම පුහුණුව පැවැත්වීම තුළ මෙම රෙජිමේන්තුකරණයේ ස්‌වරූපය පැහැදිලි ලෙසම මතුවී පෙනේ.

විශ්වවිද්‍යාල පද්ධතිය යනු "හේතුවාදීව තීන්දු ගන්න තැනක්‌" මිසක්‌ බලය පදනම්කොට ගෙන තීන්දු ගන්නා තැනක්‌ නොවන්නේය. ඒ නිසාම විශ්වවිද්‍යාලයන් හි බුද්ධිමය නිදහස ආරක්‌ෂා කිරීමටත් තහවුරු කිරීමටත් අප ප්‍රමුඛ තැනක්‌ ලබාදිය යුතුයි.

සිසුන් සහ දෙමාපියන්ගේ දැඩි විරෝධය නොතකා හමුදා පුහුණුව ලබාදීම සඳහා ගෙන එනු ලබන බලපෑම්කාරී ක්‍රියාවලියට අප දැඩි විරෝධය පළ කර සිටිමු. ඒ වගේම මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 10 වන වගන්තිය මගින් දැක්‌වෙන හෘද සාක්‌ෂියේ නිදහසට බලපෑමක්‌ එල්ල කරන බව අවධාරණය කළ යුතුය.


Link: http://www.divaina.com/2011/05/24/news14.html