If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, May 24, 2011

සරසවි සිසුවා පීඨවලට වෙන්වී කණ්‌ඩායම්වලට බෙදී අධ්‍යයන කටයුතු කළ යුගය අවසන් කළ යුතුයි රට වෙනුවෙන් එක්‌ අරමුණකට පැමිණීමේ කාලය එළඹ තියෙනවා


ජනපති මහින්ද රාජපක්‍ෂ
මෙවැනි වැඩසටහන් කරන්නේ
කිසිදා නවක වධයක්‌ ඇති නොවෙන්නයි

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

අනුර බාලසූරිය

රටේ සෑම ජාතියක්‌ම සෑම සංස්‌කෘතියක්‌ම එක තැනකට එක්‌විය යුතු කාලය එළඹ ඇති බවත් සරසවි සිසුවා පීඨවලට වෙන් වී කණ්‌ඩායම්වලට බෙදී අධ්‍යයන කටයුතු කළ යුගය අවසන්කර රට වෙනුවෙන් එක්‌ අරමුණකට පැමිණීමේ අවස්‌ථාව එළඹ ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (23 වැනිදා) අරලියගහ මන්දිරයේ පැවැති විශ්වවිද්‍යාල නවක සිසුන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවේදීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීවේයථ

මෙවර විශ්වවිද්‍යාලවලට තේරුණු ඔබ ඇතුළු මේ රටේ සියලුම දූ දරුවන්ට මම මේ අවස්‌ථාවේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. ඒ වාගේම ඔබ සැමට සුබ අනාගතයක්‌ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

ඔබ දැන් මේ රටේ සුවිශේෂ කණ්‌ඩායමකට අයිති බව මේ මොහොතේ මම මතක්‌කර දෙන්න ඕනෑ. මේ දූලා පුතාලත් එක්‌කම ලක්‌ෂ තුනකට ආසන්න පිරිසක්‌ මීට වසර දහතුනකට කලින් පළවැනි ශ්‍රේණියට ඇතුළු වුණා. ඒ අය අතරින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස්‌ පෙළට ඉඳගත්තේ එක්‌ලක්‍ෂ පනස්‌දාහක පමණ පිරිසක්‌. ඒ එක්‌ලක්‍ෂ පනස්‌දහසිනුත් අද විශ්වවිද්‍යාලවලට තේරිලා ඉන්නේ විසිතුන්දහසක පමණ පිරිසක්‌. ඒ වාසනාවන්ත පිරිස තමයි ඔබ. මේ රටේ ඉතා සුවිශේෂී කණ්‌ඩායමක්‌, 23,000 ක පිරිසකට අයත් වෙන්න තරම් දක්‍ෂයෝ ටිකක්‌ වටිනාම තරුණ පිරිසක්‌ අතරටයි ඔබ එක්‌ වෙන්නේ. ඒ දක්‍ෂකම, ඒ වටිනාකම අපි හොඳට අවබෝධ කරගෙන ඉන්නවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ ඉගෙන ගැනීමට දක්‍ෂතා ඇති දක්‍ෂතා ඔප්නංවාගත හැකි දක්‍ෂයෝ ටික ඉදිරියට ගෙන එන්න. ඒ පිරිස තමයි අනාගතයට නායකත්වය දෙන්නේ. ඔවුන් ඒ සඳහා යොමු කිරීම අපේ වගකීමක්‌.

අද මේ රටේ දෙමාපියන්ගේ දරුවන්ගේ හදවතට ඇමතුවොත්, මට ඔවුන්ගේ දරුවෙක්‌ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොට මොනතරම් බයක්‌ ඔවුන්ගේ හදවතට දැනෙනවද කියලා ඔවුන් එක්‌ක කතා කළොත් තේරෙනවා. ඒ වගේම මේ දරුවන්ගේ හදවත් තුළත් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ සතුට සේම මට මොනව වෙයිද කියන බයත් තියෙනවා. ඊළඟට ඒ ඇතුළුවෙන තරුණයා, තරුණිය විශ්වවිද්‍යාලයෙන් එළියට බහිනකොට තම අනාගතය පිළිබඳ සැකයක්‌ ඇතිකර ගන්නවා.

පසුගිය යුගයේ අපේ දෙමාපියෝ පාසල්වල ගේට්‌ටු මුර කළා තම දරුවෝ රැකගන්න. ඔවුන්ගේ හදවත් තුළ තිබුණ බය අපි දැක්‌කා. ඒ දෙමාපියන්ගේ හදවත් තුළ තිබුණු බය අද අපි සදහටම තුරන් කරලා තියෙනවා. දරුවා විශ්වවිද්‍යාලයට යනකොට දෙමාපියන්ගේ හදවත් තුළ තියන බිය, ඒ වගේම දරුවන්ගේ හදවත තුළ තියන සැකය නැති කිරීමේ වගකීමත් අපට තියනවා. හැබැයි ඒක කරන්න ඕන තවත් පිරිසක්‌ මර්දනය කරලාවත්, මර්දනකාරී නීති ගෙනල්ලවත් නෙවේ කියලයි අපේ විශ්වාසය. අපි විශ්වාස කරනවා මේ තරුණ පරපුරේ පෞරුෂත්වය ගොඩනඟලා වඩා ශක්‌තිමත් දරු පිරිසක්‌ විශ්වවිද්‍යාලයට ඇතුළුවෙනකොට ඒ බිය හදවතෙන් නැති වෙයි කියලා.

නමුත් දුෂ්කර නිසාම යමක්‌ අතහරින සිරිතක්‌ නායකයන් තුළ තිබිය යුතු නෑ. යමක්‌ දුෂ්කර වෙන්නේ ඔබ තුළ තිබෙන ආත්ම ශක්‌තිය, ධෛර්ය අනුවයි. ධෛර්යයක්‌ නැති පුහුණුවක්‌ නැති මිනිසාට ලෝකයේ තියෙන සෑම දෙයක්‌ම දුෂ්කරයි. ඒ නිසා අද අපට අවශ්‍ය වෙන්නේ ආත්ම ශක්‌තිය දියුණුකර ගන්න, හොඳ පුහුණුවක්‌ ලබපු නායකයන් පිරිසක්‌ ඔබ අතරින් ගොඩනඟා ගන්න. ඔබ තුළ ලොකු ඉවසීමේ ශක්‌තියක්‌ ගොඩනඟා ගන්න ඕනෑ. ඉවසීම ප්‍රගුණ කළ ජාතියකට විතරයි දුර පෙනෙන්නේ. ඒත් ඉවසීම කියන්නේ කරබාගෙන දුක්‌ විඳින එකට නොවේ. එදා මම විශ්වවිද්‍යාලයට ඇතුළුවෙච්චි දවසේ මට කිව්වා මේසේ උඩට නැගලා කතාවක්‌ පවත්වන්න කියලා. මම එහෙම කළා. හැබැයි රැග් කරනවා කියලා අද කරන දේ අනුමත කරන්න කිසිවකුට පුළුවන්කමක්‌ නැහැ කියලයි මම විශ්වාස කරන්නේ.

ඉවසීමත් එක්‌ක තමයි විනය ලැබෙන්නේ. විනයත්, ඉවසීමත් පිළිබඳ ලෝකයේ හොඳම පුහුණුව තිබෙන්නේ අපේ ත්‍රිවිධ හමුදාවට, සතුරාගේ පැත්තෙන් වෙඩි උණ්‌ඩ වලින් තමන් එක්‌ක ඉන්න සහෝදරයා මැරිලා වැටුණත්, ඒ පැත්තේ ඉඳලා එන අහිංසක කාන්තාවට තමන්ගේ බත් පැකැට්‌ටුව, වතුර බෝතලය පරිත්‍යාග කරන්න තරම් විනයක්‌, ඉවසීමක්‌ පරිත්‍යාගශීලිත්වයක්‌ ලෝකයේ තිබුණ නම් තිබුණේ අපේ ත්‍රිවිධ හමුදාවට.

කැලෑව මැද්දෙන් අම්මා තමන්ගේ දරුවා අරන් එනකොට වෙඩි උණ්‌ඩ එනකොට ඔවුන්ට රැකවරණය දෙන්න තරම් හැදියාවක්‌ තිබ්බා අපේ හමුදාවට. එදා යුද බිමේ තිබුණු ඒ විනය අපි වැඩබිමට ගේන්න ඕන කාලය දැන් ඇවිල්ලා. ඒ විනය රටට මඟ පෙන්වනවා.

අද සමහරු කියනවා විශ්වවිද්‍යාලවල දරුවන්ට හමුදා පුහුණුවක්‌ දෙන්න හදනවා කියලා. ඒක බොරු ප්‍රචාරයක්‌. අපි කොයි වෙලාවකවත් විශ්වවිද්‍යාලවල දරුවන්ට හමුදා පුහුණුව දෙන්න සූදානම් නැහැ. අපි ත්‍රිවිධ හමුදාවෙන් ගන්නවා දෙයක්‌. ඒ ඔවුන්ගේ ස්‌ථානය, පහසුකම්, ඒ වගේම ඔවුන්ගේ විනයත්, ඉවසීමේ ගුණයත්, හික්‌මීමත් අපි උපුටා ගන්න ඕන කියලයි මම විශ්වාස කරන්නේ.

ආදරණීය දරුවනේ, ඔබ අතරින් බොහොම දෙනෙක්‌ තවමත් දෙමාපියන්ගෙන් යෑපෙන දූ දරුවෝ. ඔබ මේ පළමු වතාවට ගෙදරින් පිටවෙලා ඉන්නේ. ඔබ දෙමාපියන්ගෙන් යෑපුණත් ඔබට වගකීමක්‌ තියනවා. ඒ වගකීමෙන් ගැලවෙන්න ඔබට බැහැ. අපි ඔක්‌කොම ජනතාවගේ මුදලින් යෑපෙන පිරිසක්‌. ආචාර්යවරයා වේවා, අධ්‍යාපන ආයතන නිලධාරියා වේවා මේ සියලුදෙනාම ජනතාවගේ මුදලින් යෑපෙනවා. අපි මේ විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් රුපියල් කෝටි 2000 ක්‌ වෙන්කරලා තියනවා. ඒ වගේම විවිධ ව්‍යාපෘති යටතේ තවත් රුපියල් කෝටි පන්සීයක්‌ වැය කරනවා. මේවා මේ රටේ ජනතාවගේ මුදල්. ඒ නිසා ඔබ ඉගෙන ගන්නෙත් මේ රටේ ජනතාවගේ මුදලින්. ඒක ඔබටත් ලොකු වගකීමක්‌. උපකුලපතිවරයාගේ ඉඳලා, ආචාර්යවරුන්ගේ ඉඳලා වගේම ඔබටත් මහා වගකීමක්‌ තියනවා. එයින් වැළකෙන්න ඔබට පුළුවන්කමක්‌ නැහැ.

මට මතක්‌වෙනවා එදා විෙද්‍යාදය උප කුලපති සෝරත නායක හාමුදුරුවෝ දේශනා කළ දෙයක්‌. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විවේචනශීලී විය යුතුයි. විප්ලවවාදී විය යුතුයි. ගවේෂණශීලී විය යුතුයි, යුක්‌තිගරුක විය යුතුයි. එදා සෝරත හාමුදුරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හැඳින්වූයේ එහෙමයි. ඒ වගේම උන්වහන්සේ පැහැදිලිව කිව්වේ විශ්වවිද්‍යාල තුළින් බිහිවිය යුත්තේ අනුගාමිකයෝ නෙවේ, නායකයන් කියලා.

අපි අද ක්‍රියාත්මක කරන්නේ බොහෝ කාලයක්‌ තිස්‌සේ බුද්ධිමතුන් විශ්වවිද්‍යාලවලින් බලාපොරොත්තු වූ දේයි කියලයි මම විශ්වාස කරන්නේ. මම එය ඉතා ඉහළින් අගය කරනවා. ශිෂ්‍යයා විප්ලවවාදී විය යුතුයි. ඒ වගේම රටට ජනතාවට, ජනතා දේපළවලට ආදරය කළ යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පොඩි දේටත් ගහගෙන, ඔළු පළාගෙන, විශ්වවිද්‍යාලවල දේපළ හානි කරලා, විශ්වවිද්‍යාලය අවුරුදු ගණනක්‌ වහගෙන මොනවද දිනාගෙන තියෙන්නේ. මොනවද මේ රටට දිනා දීලා තියෙන්නේ. එහෙම කරලා දිනා දෙන්න පුළුවන්වන්නේ කලකිරීම පමණයි.

ආදරණීය දරුවනේ, මම මේ රටේ දකුණේ මව්වරු 60,000 කගේ කඳුළු දැකපු කෙනෙක්‌. උතුරෙත් දහස්‌ ගණන් මව්වරුන්ගේ නෙත්වල කඳුළු දැකපු කෙනෙක්‌. යළි මව්වරුන්ගේ දෑස්‌වල කඳුළු දකින්න අපට වුවමනාවකුත් නැහැ. පුළුවන්කමකුත් නැහැ කියන ඒක පැහැදිලිව කියන්න ඕන.

ඒ නිසා මේ රටේ ප්‍රචණ්‌ඩ ශිෂ්‍යභාවය අහෝසි කරන්න ඕනෑ. එය අහෝසි කරන්නේ මර්දනයෙන් නොවෙයි වර්ධනයෙන්. ඔබ තුළ නිවරැදි ආකල්ප වර්ධනයෙන් නිරෝගී ශරීරයක්‌ තුළ නිරෝගී මනසක්‌ ගොඩනැඟීමෙන්. ඒ නිසා පළමුවෙන්ම තමන් තමන්ටම නායකයා වෙන්න ඕනෑ. තමන්ගේ ශරීරය තමන් පාලනය කරන්න ඕනෑ. මනස පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනෑ. කාලය කළමනාකරණය කර ගන්න පුරුදු වෙන්න ඕනෑ. ඒ විතරක්‌ නෙවේ තමන් ජීවත් වෙන වටාපිටාව පිරිසිදුව තබා ගන්නත් පුරුදු වෙන්න ඕනෑ. සමහර ශිෂ්‍යයෝ ඉන්න කාමරවලට මම ගිහිල්ලා තියෙනවා. ඒවා දැකලා තියෙනවා. ඒ විදිහට ඉන්න එපා.

මේවා විශ්වවිද්‍යාලවල උගන්වන්න තරම් දේද කියලා ඇතැම් අය අහයි. මතක තියාගෙන සොයා බලන්න. එහෙම අහන අය වැඩිපුරම ජීවත් වෙන්නේ අපිරිසිදු වටාපිටාවල. ඔවුන්ගේ ජීවිත දිහා බැලුවත් එහෙමයි. සරල සැහැල්ලුම දේ වලින් තමයි ජීවිතය හැඩගස්‌වන්නේ. ගැටුමකදී පැනලා යන්නේ නැතිව ගැටුම සමථයට පත්කර ගන්න මැදිහත් වෙන්න තරම් ධෛර්යයක්‌ උගතෙකුට තියෙන්න ඕනෑ. ඒ ධෛර්යය උගතාට නැත්නම්, සැමදා ප්‍රචණ්‌ඩත්වයම රජ වේවි. මේවා තමයි අපි අනාගත පරපුරට උගන්වන්න ඕනෑ.

ඒ විතරක්‌ නොවෙයි ලෝකයේ ඕනෑම තැනකට ගිහින් තමන්ගේ කාර්යය ඉටුකරන්න පුළුවන් ශක්‌තියක්‌, දැනුමක්‌ අපි ඔබට ලබාදෙන්න ඕනෑ. ඉංගී්‍රසි වගේම පරිගණක දැනුමත් ඇති උපාධිධාරියෙක්‌ තමයි බිහිවෙන්න ඕනෑ. හැම උපාධිධාරියෙක්‌ම පරිගණකයක්‌ භාවිත කරන්න, ලෝකය පිළිබඳ අවබෝධයක්‌ ලබන්න, වෙන්නේ මොනවද කියලා දැනගන්න ඔබට පුළුවන් වෙන්න ඕන. පුස්‌තකාලය පරිහරණය කරන්න, අන්තර්ජාලය ඔස්‌සේ ලෝකයේ වෙන්නේ මොනවද කියලා හොයලා බලන්න. රට රටවල තොරතුරු පිළිබඳ සාමාන්‍ය දැනුමක්‌ ඔබට තියෙන්න ඕන. අපි මහින්ද චින්තනයේ ක්‍ෂිතිජයට ඉහළින් ලෝකය දකින්න පුළුවන් උගතෙක්‌ බිහිකරන්න ඕනෑ කියලා කිව්වේ ඒ නිසයි.

අප අතර විවිධ මත දරන අය ඉන්න පුළුවන්. ඒ මත ඉවසීම, ඔවුන් සමඟ එක අරමුණක වැඩ කිරීමට පුරුදු වීම අත්‍යාවශ්‍ය දෙයක්‌. අද අපේ රජයේ නොයෙක්‌ මත දරන අය ඉන්නවා. නොයෙක්‌ අදහස්‌ තියනවා. නමුත් ඒ සියලු මත ඒ සියලුදෙනා එකතු කරගෙන එකම අරමුණකට වැඩ කරන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. නොයෙක්‌ තර්ක ඉදිරිපත් වෙනවා. ඒවා ඉවසන්න ඕන. විවේචන ඉවසන්න ඕන. මේ හැම ජාතියක්‌ම සිංහල, දෙමළ, මුස්‌ලිම් කවුරුත් එක තැනකට එන්න ඕනෑ. විවිධ සංස්‌කෘතීන් තියනවා ඒවා එක තැනකට එන්න ඕන. ඔබ අතරේ ඒ සියලු දෙනාගේ අදහස්‌ හුවමාරු වෙන්න ඕනෑ. පීඨවලට වෙන්වෙලා, අධ්‍යාපන කණ්‌ඩායම්වලට වෙන්වෙලා වැඩකළ යුගය හමාර කරන්න ඕනෑ. නොයෙක්‌ මත තිබුණත් රට වෙනුවෙන් එක අරමුණක වැඩකරන්න ඕනෑ. අපි සියලුදෙනාම ඒ අරමුණ ජයග්‍රහණය කරන්න සූදානම් වෙන්න ඕන. දහසක්‌ මත තිබෙන්න ඕනෑ. දහසක්‌ මල් පිපෙන්න ඕනෑ. ඒකයි අවශ්‍යය.

ආදරණීය දරුවනේ, ඔබ ගෙවන්නේ ජීවිතයේ හොඳම කාලය. එකක්‌ විතරක්‌ නොවෙයි ජීවිතයට සිය ගණනක්‌ දේ විෂයයන් තියෙන බව මතක තබාගන්න. ජීවිතය කියන්නේ ඔබ ඉගෙනගන්නා දේ පමණක්‌ නොවේ.

එසේ නැතිව ඒ කාලයේ µqල් ටයිමර් වගේ එකම දෙය කළොත් අවසානයේ ඉතිරි වෙන්නේ කලකිරීම පමණයි. තමන්ට කෝච්චිය මඟහැරුණා කියන වෛරයත්, කලකිරීමත් පමණයි. අපිට ඕනෑ වෛරයෙන් තොර රටට ආදරය කරන ධනාත්මකව හිතන්න පුළුවන් පුරවැසියෙක්‌. ඒ සඳහායි ඔබ සූදානම් වෙන්න ඕන. අප ලබාදෙන මේ පුහුණුවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ලබාගනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ තුළින් ඔබට සැබෑ මිනිසකු වෙන්න පුළුවන්. ඔබට සුබ අනාගතයක්‌ ප්‍රාර්ථනා කරනවා.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාථ

මේ වැඩසටහන ආරම්භ කරන මොහොතේ අපි සමඟ පොඩි රණ්‌ඩුවක්‌ තිබුණත් ඒවා පසෙක තබා විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු මෙයට සහභාගිවෙලා ඔවුන්ගෙන් විය යුතු වගකීම් අකුරටම ඉටුකරනවා. සමහර මධ්‍යස්‌ථානවල පොඩි අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු හැකිතාක්‌ මඟහැරවීමට අපි බලාපොරොත්තු වෙනවා. පොඩි පොඩි අඩුපාඩු තිබුණත් ඒවා ඉවසාගෙන මෙම වැඩසටහන සමඟ සම්බන්ධවෙලා කටයුතු කරන්න. ඉස්‌ලාම් දරුවන්ගේ ගැටලු විසඳන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මේ වැඩසටහන තියන්න එපා කියලා ඊට විරුද්ධව පිරිසක්‌ නඩුවක්‌ ගොනුකළා. නඩුව ගොනු කළ අධිකරණයේ විනිසුරුතුමා නීතිපතිට දැනුම් දුන්නා. මෙය සතියක්‌ කල්දාන්න පුළුවන්ද කියා සොයා බලන්න. නීතිපතිතුමා අප සමග නිලධාරීන් සමග සාකච්ඡා කළා. එතුමාට මෙය කල්දැමීමෙන් මුහුණපෑමට සිදුවන ප්‍රශ්න පහදා දුන්නා. නීතිපතිතුමාගේ උපදෙස්‌ මත පාඨමාලාව ඒ අයුරින්ම පවත්වන්න තීරණය කළා.

මේ දරුවන්ට මෙවැනි වැඩසටහන් තියන්න අදහස්‌ කළේ විශ්වවිද්‍යාලය තුළ නැවත කිසිම දිනක නවකවදයක්‌ දෙන්න ඉඩ නොතැබීමටයි. නවක වදයක්‌ දෙන්න අපි කිසිම අයුරකින් ඉඩක්‌ තියෙන්නේ නෑ. නවකවදය දෙන්න එන සියලු දෙනා විශ්වවිද්‍යාලවලින් ඉවත් කරනවා. මේ දරුවන් විශ්වවිද්‍යාලයට ගියාම නවකවදයකට ගොදුරුවීමට ඉඩක්‌ නොතබන්න උපකුලපතිවරු, ආචාර්යවරු මහාචාර්යවරු සම්පූර්ණයෙන් සූදානමින් ඉන්නේ. ඒ නවකවදය කේම්බ්‍රිඡ් ආදී විශ්වවිද්‍යාලවලින් ආපු දෙයක්‌. රජ පවුලේ දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළුවුණාම වැරහැලි ඇඳගෙන බේසමක්‌ අරගෙන මහපාරට බැහැලා හිඟා කනවා. එවිට රජපවුලේ අය ඔවුන්ගේ මුදල් වලින් බේසම පුරවනවා. ඒ මුදල්වලින් සිසුන් පාටි දානවා. එහෙමයි නවක වදය ආවේ.

අපි විශ්වවිද්‍යාලයට ඇතුළුවන කාලේ නවක වදය අමානුෂික වදයක්‌ වුණේ නෑ. දැන් තිබෙන නවකවදය වගේ සිසුන්ගේ පෞරුෂත්වය බිඳල දැම්මේ නැහැ. වහලුන් බවට පත්කළේ නෑ. අද තියෙන නවකවදයෙන් දරුවන්ගේ පෞරුෂත්වය බිඳ දමනවා. දරුවන්ගේ හැකියාව නිදහස නැත්තටම නැති කරනවා.

විශ්වවිද්‍යාලවල සියලු පාඨමාලා ඉංග්‍රීසියෙන් පවත්වන්නයි අප බලාපොරොත්තු වන්නේ. අපිට අවශ්‍ය විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවා ඉංගී්‍රසි දැනුමෙන් තොරතුරු තාක්‌ෂණ දැනුමෙන් පිරිපුන් දරුවන්වීමටයි. විශ්වවිද්‍යාල තුළ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම ලබාදීමේ වටිනාකම ඉන් පිටවනවිට ඔබට දැනේවි. ඒ නිසා ඔබ පුළුවන් තරම් හොඳින් ඉංග්‍රීසි දැනුම ප්‍රගුණ කරන්න. ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනය අනුව සිතිජයට ඉහළින් බලන්න නම් ඉංග්‍රීසි දැනුම ඉතා අවශ්‍යයි. ඔබ සියලු දෙනාටම ලැප්ටොප් එක බැගින් ලැබෙනවා. අපිට අවශ්‍ය මෙතනින් එළියට එන දරුවා තොරතුරු තාක්‌ෂණය පිළිබඳ ඉහළම දැනුමක්‌ ඇති දරුවකු කිරීමටයි.

දැන් විශ්වවිද්‍යාලය පාලනය කරන්නේ සිසුන්. මේ පාලනය දැන් උපකුලපතිවරු ,ආචාර්යවරු, මහාචාර්යවරු අතට ක්‍රමානුකූලව ගන්නවා. ශිෂ්‍යයින්ට දේශපාලනය කරන්න පුළුවන් වාද කරන්න පුළුවන්. ඒ සියල්ලටම ඉහළින් දරුවන්ගේ අධ්‍යාපනය කියන්න කටයුතු කරනවා.

පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්නේ කොන්දේසි ඇතුවයි. ජනාධිපතිතුමා මේ රටේ නිදහස්‌ අධ්‍යාපනය තවත් පුළුල් කරනවා. අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙනයනවා.

උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා.ථ

ඔබ විශ්වවිද්‍යාලයට තේරුණු බව දැනගත් විට ඇතිවන සතුට වගේම මොනවිදියේ නවක වදයකට ලක්‌වේදෝයි කියන බිය මුසු ලඡ්ජාවකුත් ඇති වෙනවා. අද ඔබ ලබන මේ නායකත්ව පුහුණුව තුළින් ඊට මුහුණදීමේ දොරටුව විවෘත වෙනවා.මේ අවස්‌ථාව කඩාකප්පල් කරන්න විවිධාකාර බලවේග ක්‍රියාත්මක වුණා. ජ. වි. පෙ, එ. ජා. පය මේක හමුදා පුහුණුවක්‌ කියල හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. ඒ බොරු ප්‍රචාරයන්ට යටවෙන්න එපා කියලා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වැඩසටහනට සහභාගීවී සිටින සිසුන් පිරිස දෙස බලන විට මේ පරාජිත වූ දේශපාලන පක්‍ෂයක ඉලAලීම ප්‍රතික්‍ෂේප කර ඇති බව පේනවා. මේක මවුබිමට ආදරය කරන වගකීම් යුතුකම් අවබෝධ කරගෙන විශ්වවිද්‍යාලයට ගොනුකිරීමේ වැඩපිළිවෙලක්‌. දෙමාපියෝ දුක්‌විඳින්නේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටයි. දෙමාපියන්ගෙන් දරුවන්ට වගේම දරුවන්ගෙනුත් දෙමාපියන්ට විය යුතු යුතුකම් ඉටුවිය යුතුයි.

විශ්වවිද්‍යාලයට එන දරුවාගේ මානුෂික මට්‌ටම සැකසිය යුතුයි. දරුවන්ගේ ගැටුම් මානුෂිකත්වය ඉවත් කළ යුතු වෙනවා. ඒ හුරු කිරීම මෙමගින් සිදුවෙනවා. එහි ප්‍රතිඵලය අනාගතේ දකින්න පුලුවන්. අද අප රට ආසියාවේ දිදුලන රට බවට පත්වෙමින් තිබෙනවා. අපිට රටේ ඕනෑම තැනක නායකත්වය අරගෙන කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුයි.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාථ

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිසක්‌ අද මේ අවස්‌ථාව නියෝජනය කරනවා. අද 3000 ක්‌ මීට සහභාගිවෙනවා පමණක්‌ නොව තවන් විශාල පිරිසක්‌ තාක්‌ෂණය ඔස්‌සේ මේ අවස්‌ථාවට සජීව ලෙස සහභාගිවෙනවා.

ජනාධිපතිතුමා දිගුකාලීන සැලැස්‌මත් ඉදිරිපත් කරමින් අප රට පංච මහා බල කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කරන්න පියවර ගනිමින් සිටිනවා.

ලෝකයේ ඕනම තැනක රැකියාව කළ හැකි උපාධිධාරීන් පිරිසක්‌ බිහිකරන්න අවශ්‍ය පියවර එතුමා ගෙන තිබෙනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ (23) පෙරවරුවේ පැවැති සමාරම්භක උත්සවයට නවක සරසවි සිසුන් 3000 ක්‌ පමණ සහභාගි වූ අතර, අනෙක්‌ සිසුන් පුහුණු මධ්‍යස්‌ථානවල සිට මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ කර තිබිණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්‌ යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූහ.


Link:  http://www.divaina.com/2011/05/24/news17.html