If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, May 14, 2011

සරසවි ඇදුරු අර්බුදයට විසඳුම් නොදුන්නොත් එජාප වෘත්තීය සමිති සහායත් ඔවුන්ට දෙනවා - අකිල විරාඡ් කාරියවසම්

පියසේන දිසානායක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන උද්ගතව තිබෙන අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දීමට ආණ්‌ඩුව ක්‍රියා නොකළොත් එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති හා සංගම්වල සහයෝගය ඊට ලබා දීමට සිදු වන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.

වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට කඩිනමින් සාකච්ඡාවක්‌ ලබාදෙන ලෙස සිය පක්‍ෂය රජයෙන් විශේෂ ඉල්ලීමක්‌ කරන බවද හෙතෙම පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (13) මෙම කරුණු අනාවරණය කළ අකිල විරාඡ් කාරියවසම් මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප්  ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට තව දුරටත් නොහැකි වුවහොත් එය වෙනස්‌ ක්‌ෂේත්‍ර කරා පැතිර යැමේ අවදානමක්‌ මතුව තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන් සහ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය ද වැටුප් වැඩිවීමක්‌ ඉල්ලා සිටින බව පෙන්වා දෙන කාරියවසම් මහතා මේ සියලු ප්‍රශ්න මතුව ඇත්තේ ආණ්‌ඩුව අනුගමනය කරන අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා බව අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුපක්‌ ලබා දෙන බවට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ පොරොන්දු වූ බවත් අද එම ආචාර්යවරුන් ඉල්ලා සිටින්නේ ඇමැතිවරයා පොරොන්දු වූ වැටුප් තලයකට වඩා අඩු වැටුපක්‌ බව පැවසීය.

මේ අනුව තවදුරටත් කල්මැරීමේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් අර්බුදය දුරදිග යැමට ඉඩ නොදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දීමට ආණ්‌ඩුව වහා ක්‍රියා කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.


Link: http://www.divaina.com/2011/05/14/news03.html