If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, August 6, 2011

අරගලය පාවාදුන්නා කියන්නේ තොරතුරු දන්නෙ නැති අය

රාවය 07/08/2011

ආචාර්ය ප්‍රභාත් ජයසිංහ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප ලේකම්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර [Sunday, August 7, 2011]

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය අරගලය පළාත් පාලන ඡන්දයට දින දෙකකට කලින් හදිසියේ නැවැත්වීම සැක සහිත බවත්, ජයග්‍රාහී ලෙස අවසන් කළ හැකිව තිබූ අරගලය මේ අයුරින් හොර රහසේ අවසන් කිරීම අදහාගත නොහැකි බවත් බොහෝ ආචාර්යවරු අදහස් පළ කළා?

මේක ඒ වෙලාවෙ නවත්වනවාද නැද්ද කියල මම දැනගෙන හිටියෙ නෑ. අපි මේක නවත්වන්න තීරණය කළේ අවශ්‍ය ලියකියවිලි ඔක්කොම අපිට ලැබුණට පස්සේ. මේ අරගලය නවත්වන දවසේ උදේ අපි කාටවත් කියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ අපි මේක නවත්වනවා කියලා. හවස විධායක සභාව රැස්වෙලා එතනින් තීරණය අරගෙන තමයි අපි මේක නැවැත්තුවෙ.

මෙම එකඟතාවට දිනකට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ අදාළ යෝජනාවලිය කිසිදු වටිනාකමක් නැති එකක් බවයි?

ඒක එතුමාගේ පෞද්ගලික කරුණක්. මාධ්‍ය ප්‍රකාශකවරයෙක් කියන්න ඕනෙ සංගමය හදල දීපු දේවල්. නමුත් අපි එහෙම දෙයක් හදල දීලා නෑ. මේ යෝජනාවලිය වැඩකට නැති එකක් කියලා කියන කරුණ පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ යෝජනාවලිය තුළ පිළිගන්න පුළුවන් දේවල් තියෙන නිසා තමයි අපි සංගමයක් විදියට ඒක පිළිගත්තේ.

මේ අරගලය නැවැත්වීමට නම් තම ඉල්ලීම් ඒ අයුරින් ඉටුවිය යුතුයි යන සෘජු මතයක සිටි සහ රජය සෘජුව විවේචනය කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඇතැම් නිලධාරීන් තම සාකච්ඡාවලදී ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර රජයේ හිත දිනා ගැනීමට ආචාර්යවරුන්ගේ සංගමය (ත‍මඒ) උත්සාහ කළ බව චෝදනාවක් තියෙනවා?

එහෙම කියන්න බෑ. අපි කිසිම සාකච්ඡාවකදී කිසි කෙනෙක් හිතා මතා මග ඇරලා නෑ. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයා හම්බවෙන්න අපි යනවා කියලා හිතමුකො. එතකොට ෆුටා එකේ ඉන්න හැමෝටම ඒකට යන්න බෑනෙ. ඒවගේ අවස්ථාවක යන්න වෙන්නෙ සීමිත පිරිසකට විතරයි.

මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන බොහෝ දෙනාගෙ අදහස තමයි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අරගලයේ අවසන් අදියර තුළ වෘත්තීය සමිතියක් ලෙස තමන්ම තීරණයක් නොගෙන රජය සමග කරන ගනුදෙනුවලදී රාජ්‍ය හිතවාදී වෙනත් ආචාර්යවරුන් කිහිප දෙනෙකු මත යැපුණු බව?

ත‍මඒ එක විදියට අපි තීන්දු තීරණ ගන්න වෙනම යාන්ත්‍රණයක් තිබුණා. විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් රජය පාර්ශ්වයන් එක්ක කවුරුහරි පිරිසක් සාකච්ඡා කරනවානම් ඒ යාන්ත්‍රණය තුළ සිදුවුණු දේ තමයි ඒ සාකච්ඡා කළ දේවල් පසුව විධායක සභාව ඉදිරියේ සාකච්ඡාවට බඳුන් කළ එක. ඒ සාකච්ඡාව තුළ තමයි අපි ගන්න තීන්දු තීරණ මොනවාද කියලා අවසන් වශයෙන් තීරණය කරන්නේ. ඕනෑම ගනුදෙනුවක් තුළ ඔබ කිව්වා වගේ අතරමැදියන් ඉන්න පුළුවන්නෙ.

අපි මේ අරගලය මෙතනින් නවත්වනවා කියන තීරණය පවා විධායක සභාව තුළ තීරණය කරලා අන්තිමට එක එක විශ්වවිද්‍යාලවල නියෝජිතයන්ට කතා කරලා ඇහුවා. එතනදි විශ්වවිද්‍යාල තුනක් විතරයි කිව්වෙ මේක නවත්වන්න එපා මේ වෙලාවෙ කියලා. අනික් ඔක්කොම නියෝජිතයෝ මේ තීන්දු තීරණවලට එකඟ වුණා.

මෙතනදි වැදගත් වෙන්නේ මේකට කවුද සම්බන්ධ වුණේ ඔවුන්ගෙ දේශපාලන සම්බන්ධතා මොකක්ද කියන එක නෙමෙයි. ඒ පිරිස දිවා රෑ මහන්සිවෙලා සමස්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවෙන් කොච්චර දුක් වින්දද, කොච්චර කැපවීමක් කළාද කියන එක. මේ අරගලය නවත්වද්දි ආචාර්යරුන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මේක තාවතාලිකව නවත්වනවා කියන එකනෙ? මොකක්ද මේ තාවකාලිකව නවත්වනවා කියන එක?

අපි මේ වැටුප් වැඩිකිරීම් ඉල්ලුවේ අධියර තුනකින්. ඒ අදියර තුන තමයි දැන් එකක් වැඩිකරන්න, ලබන අයවැයෙන් සහ ඊළඟ අයවැයෙන් ඉතුරු දෙක වැඩිකරන්න කියලා. තාවකාලිකව නවත්වනවා කියන එකේ තේරුම තමයි අපේ ඉල්ලීම් ඉෂ්ට නොවුණොත් මේ එන්න තියන අයවැයෙන් පස්සෙ අපි ආයෙත් අරගලයට යනවා කියන එක.

නමුත් මේ විදියට වැටුප් වැඩි කරන බවට රජය පාර්ශ්වයෙන් මාර්ග සිතියමක් දෙන්නෙ නෑ නේද?
ඒක හරි. අපි රජයෙන් ඉල්ලලා තිබුණා ඒවගේ ලිඛිත මාර්ග සිතියමක්. නමුත් ඇත්ත කරුණ, රජයක් එහෙම දෙන්නෙ නෑනෙ, ඊළඟ අයවැය ගැනවත් තව අවුරුදු ගණනකට පස්සෙ එන අයවැයක් ගැනවත් ලිඛිත පොරොන්දු අදම.

ඒ නිසා තමයි අපි කිව්වේ අපිට කමිටුවක් දෙන්න කියලා මේ ගැන හොයා බලන්න. ඒ කමිටුවට ත‍මඒ එකේ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් කිහිප දෙනෙක් අයිති වෙනවා. එතකොට මේ ගැන බලන්නේ ඒ අය.

මේක තාවකාලිකව නැවැත්තුවා කියන තැන ඉඳන් බැලුවොත්, අපොස උසස්පෙළ විභාගය, විශ්වවිද්‍යාලවලට නවකයන් බඳවා ගැනීම වැනි අරගලයේ මූලික ආයුධ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගෙන් අහිමිවුණු කාලයක මහජන සහයෝගය ඇතිව නැවතත් මේ අරගලය පටන්ගන්න පුළුවන් වෙයි කියල හිතනවාද?

ඒක කාර් එකක් ස්ටාර්ට් කරනවා වගේ වැඩක් නෙමෙයි. ඒක ඒ ඒ තත්ත්වය යටතේ බලන්න ඕන. මම හිතනවා අපි එකඟ වෙලා තියෙන විදිහට අපේ ඉල්ලීම් ලැබෙයි කියලා. එහෙම නැත්නම් අපිට තිබුණ වගේම අරගලයක් අරඹන්න පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය. අපි කරලා තිබුණ සාකච්ඡා එක්ක අපිට තිබුණේ පරීක‍ෂණ දීමනාවට කොන්දේසි ඇතුල් කිරීම කියන කාරණය විතරයි රජයත් එක්ක විසඳගන්න. මොකද වැටුප් වැඩිකිරීමේ චක්‍රලේඛය ඒ වෙනකොට අපිට ලැබිලා තිබුණා. අංශාධිපතිවරුන් ඉල්ලා අස්වීම වළක්වන්න 956 චක්‍රලේඛයත් ඒ වෙනකොට අහෝසි කරලයි තිබුණේ. ඉතින් එහෙම තියෙද්දි පර්යේෂණ දීමනාව කියන කරුණ විතරක් අරගෙන අපි ඉස්සරහට යන්න ඕනෙද?

සමහරු කියනවා වගේ ඡන්දෙට දවස් දෙකකට කළිං මේක නවතිනවා. මං අහන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා නැවැත්තුවාම අපි පරාද වෙනවාද? ඡන්දයට ඉස්සෙල්ලා නවත්වපු එක ප්‍රශ්නයක්ද කියලා. ඒ වෙලේ අපි සලකා බැලුවේ ඡන්දෙන් පස්සේ වෙනකම් මේ අරගලය ගෙනිච්චොත් මීට වඩා ලැබෙනවාද සහ ඡන්දය දිනන ආණ්ඩුවක කේවල් කිරීමේ බලය ඡන්දයට කලින්ට වඩා ඡන්දයට පස්සෙ අඩුද වැඩිද කියලා. මේක ඡන්දෙන් පස්සේ වුණානම් ඒ දෙකම අපට අවාසි සහගත වෙන්න තිබුණා.

උසස් පෙළ ප්‍රශ්නය අනිත් එක. උසස් පෙළ ප්‍රශ්නයත් එක්ක කේවල් කරන්නනම් අපි තව මාස එකහමාරක් මේ අරගලය ඇදගෙන යන්න වෙනවා. නමුත් එහෙම වුණොත් ජනතාව මොනව කියන්නේ? ජනමාධ්‍ය මොකද කියන්නේ? ශිෂ්‍යයන් මොකද කියන්නේ?

අරගලයේ මූලික සටන්පාඨ අරගලය අවසන් වීමත් එක්ක තිබුණෙ නෑනෙ. අරගලයේ මූලික සටන් පාඨයක් වුණේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන දක‍ෂ ශිෂ්‍යයන් ආධුනික කථිකාචාර්යවරුන් විදිහට විශ්වවිද්‍යාලයට බඳවාගන්න බෑ. ඔවුන්ට ලැබෙන්නෙ ඉතා සුළු වැටුපක් නිසා ඔවුන් වෙනත් රැකියාවලට යනවා කියන එක. නමුත් නව වැටුප් ව්‍යුහය තුළ ආධුනික කථාකාචාර්යවරුන්ගේ වැටුප් වර්ධනයට ප්‍රමුඛත්වයක් ලැබිලා නෑ. එවන් තත්ත්වයක් තුළ මේ වගේ එකඟතාවට ඒම අරගලයේ මූලික අරමුණුත් එක්ක අපි තේරුම් ගන්න ඕන කොහොමද?

අපි මේ වැටුප් වැඩිවීම ඉල්ලුවෙ මලික් ජෙෆ්රි කියන 2008 දී නිර්මාණය වුණු වාර්තාව අනුව. ඒ වාර්තාවෙ තියන එක දෙයක් තමයි ආධුනික කථීකාචාර්යවරුන්ගේ වැටුප් වර්ධනය මන්දගාමී වීම. උදාහරණයක් විදිහට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ සහ ආචාර්යවරයෙකුගේ වැටුප ඊට අනුව වැඩිවෙන්න ඕනෙ සියයට 133 කින්. එහෙම නමුත් ආධුනික කථීකාචාර්යවරුන්ගේ විතරක් වැටුප් වැඩිවෙන්න ඕනෙ 65% කින්. අපි ඒ වාර්තාව මත ඉඳලා තමයි ගනුදෙනු ඔක්කොම කළේ. ඒක හරිද වරදිද කියන එක වෙනම කාරණයක්.

මේ එකඟතාවන්වල කොතන හරි තියෙනවාද රජයේ සමස්ත වියදමින් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුයි කියන මූලික සටන් පාඨය වෙනුවෙන් ගත් කිසියම් හෝ කොන්දේසියක්?
ඒක අපේ සටන්පාඨයක් තමයි. ඒක තවමත් අපේ සටන් පාඨයක්. අධ්‍යාපනය සඳහා රජයේ වියදමින් 6% ක් වැයකරනවා කියන එක රජය අවුරුද්දකින් කරන්නේ නෑනෙ. එම වියදම 6%ක් වැඩිකරනකම් අපි රැකියාවලට නොගිහින් ඉන්න එක යථාර්ථවාදීත් නෑනෙ. අපි කියන්නේ 2015 විතර වෙද්දි මේ ගාන වැඩිවෙන් ඕන කියලා.

මේ දේවල් විවේචනය කරන අය බලන්න ඕනෙ කොයි වගේ ප්‍රති මල්ලවයෙක්ට විරුද්ධවද අපි මේ තීරණය ගන්නේ කියලා. තමන්ගේ ඔළුවට උඩින් කාක්කෙක්වත් යන්න බෑ කියන නායකයෙක් ඉන්න රටක අපි මේ අරගලය පටන්ගද්දි බොහෝ අය කිව්වේ ඔයාලට සත පහක්වත් ගන්න බෑ කියලා. ඒවගේ තත්ත්වයක් තුළ අපි මේ ලබාගත්ත දේ සතුටුවෙන්න කාරණාවක්. මේක පාවාදුන්නු බව කියන අය කියන්නේ මේ වෙනකොට අපි සිටි තත්ත්වය දන්නේ නැතිව. මීට වඩා ජයග්‍රාහී ලෙස මේ අරගලය අවසන් කරන්න තිබුණා කියන අයගෙන් මං අහන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මොකක්ද මීට වඩා ජයග්‍රාහී තැන කියලා.