If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 8, 2011

සරසවි ඇදුරු අරගලයේ පුළුල් විය යුතු සටන් පාඨ

රාවය 10/07/2011

කථීකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - සබරගමුව විශ්වවිද්‍යාලය [Sunday, July 10, 2011]

ශ්‍රී ලංකාවේ වෘත්තීය සටන් ඉතිහාසයේ ඉතාම වර්ණවත් සහ බරපතළ පරිච්ඡේදයක් මේ දිනවල සරසවි ඇදුරු අරගලය විසින් සංග්‍රහ කරනු ලබමින් ඇත. අරගලයට දින 50 ට ද අධික ය. මෙම රචනාව පළ කෙරෙන මේ මොහොත වන විට අතිසාර්ථක 5 වැනි මහජන සම්මන්ත්‍රණය යාපනයේ වීරසිංහම් ශාලාවේදී පවත්වා හමාරය. කොළඹ මහජන පුස්තකාලයීය ශාලාවේදී මහාචාර්ය නවරත්න බණ්ඩාර මෙසේ කීය. අප මහපාරට බැස සටන් කරන තැනට කැඳවූයේ අපේ ඉල්ලීම් විසින් නොව එකී ඉල්ලීම්වලට ලද ප්‍රතිචාරය විසින් බව ය. එය සුපැහැදිලි සත්‍යයකි. පාරිභෝජනවාදී අදේශපාලනික නිද්‍රාශීලී කළුවළක් (Black Hole) බඳු සමාජයක ඉහළම විද්වත් පර්ෂදය දහස් ගණනින් භෞතික වූ අරගල මාවතකට යොමු කළ හේතුව එය යි. එසේම දිනෙන් දින මෝරා ශක්තිමත් වන, දිනදින පිරිස් බලය ඉහළ යන අරගල බිමේ පුළුල් අර්ථවලින් සටන් පාඨ වරනැගීම අත්‍යවශ්‍ය ව ඇත. මේ කෙටි විවරණය ඒ පිළිබඳ වයි.

වැටුපෙන් ඔබ්බට

දෙරණ නාලිකාව; ආචාර්ය මහීම් මෙන්ඩිස් සමග කළ සංවාදයේ දී පුනපුනා විමසුවේ ඇයි ඔබ වැඩි පඩි ඉල්ලන්නෙ. රට ම අරාජක මොහොතක ඔබේ වැඩි වැටුප් ඉල්ලීම අසාධාරණයි නේද? යනුවෙනි. මෙය ඉතාම සාවද්‍ය මතයකි. ශ්‍රවණයට පිළිකුල උපදවන කතාවකි. අප ඇරඹූයේ වැටුප් අරගලයක් බව සැබෑය. එහෙත් දැන් දැන් මේ රටේ සුපිරිම ප්‍රඥාවන්තයින් රැස් වන්නේ වැටුප ඉක්මවූ පුළුල් හා රමණීය සටන් පාඨ සහිත ගෞරවනීය සටන් බිමක ය. පෘථුල හා පරිණත ධජයක සෙවණ යට ය. නීතියේ ආධිපත්‍යය බිඳ වැටී, තමා විශ්වාස කළ මතවාදී මංමාවත්වල හුදෙකලා වී සිටි - උකටලී වී සිටි මහ පිරිස් දිනපතා සාක‍ෂාත් කරන්නේ මේ පුළුල් පෙරමුණ වූ කලි තමා පැතූ ලොව ගොඩනැගීමේ ප්‍රධාන පිම්ම බව ය. ඇතැම් විට ශ්‍රී ලංකාවේ විද්වතුන් බුද්ධිමතුන් සිය සබුද්ධික සමාජය ප්‍රතිෂ්ඨාපනයේ ව්‍යාපෘතියේදී තමාට අභිමුඛ වන අවසාන අවස්ථාව මෙය විය හැකි ය. එය වඩා පුළුල් උපන්‍යාස හා අභිලාෂ පෙරදැරි කර ගත යුතු ය. දැනටමත් එය විශාල අරමුණ, දූරදර්ශී ඉලක්ක වටා ගොනු වී ඇත.

කොළඹ මහජන සම්මන්ත්‍රණයේ මුලසුන දැරූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොටගම මෙසේ කීය. මා මගේ විශ්වවිද්‍යාලයීය වෘත්තීය දිවියේ මෙපමණ පහළට වැටී ඇති අවධියක් කිව නොහැකිය යනුවෙනි. බුද්ධිමතුන්ගේ කලකිරීම හා විවේචනය අද ඇත්තේ එවැනි තැනක ය. ශ්‍රී ලංකාවේ සරසවි ඇදුරු ප්‍රජාව තමාගේ හේමන්ත නිද්‍රාව අවසන් කොට මෙවර නැගී සිටිනු ඇත. මෙය මහින්ද රාජපක‍ෂ රෙජීමයට හෝ එස්.බී. දිසානායක අමාත්‍යවරයාට හෝ එරෙහි අරගලයක් නොෙවේ. ලංකාවේ විශ්වවිද්‍යාලයන් බිඳ හෙළුවේ යට කී බල ව්‍යුහය පමණක් විසින්ද? නැත. රජගෙදර බණ දෙසූ භික‍ෂූන් වහන්සේලා හා රජගෙදරට උපදෙස් දුන් විද්වතුන් මේ ගැටලුවේදී පක‍ෂ ඉවතලා පෙරමුණ ගැනීම අභිරම්‍ය වූ තත්ත්වයකි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන අනාගතය හා සබැඳි යමක් ලෙස අර්ථකථනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

පාසල් අධ්‍යාපනය

අන්තර් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ කේන්ද්‍රය වටා රැස් වූ මෙම බලපෑම් කණ්ඩායමේ ප්‍රධාන ඉල්ලීමක් නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් සිරිලක අධ්‍යාපනයට වෙන් කළ යුතුය යන්න යි. මෙය ප්‍රිය නොකරන ලාංකිකයන් සිටිය හැකිද? එසේම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පිණිස විධිමත් ක්‍රියා පටිපාටියක් නිපදවා ගත යුතු ය. මේ මගින් වාර්ෂිකව බරපතළ අසහනයක් ජනිත වේ. ජපානයේ සිට පශ්චාත් උපාධි අවසන් කොට සබරගමු සරසවියට පෙරළා පැමිණි තරුණ ආචාර්යවරයෙක් සිය දරුවාට පාසලක් සෙවීමේ අරගලය සඳහා 21 වරක් කොළඹ පැමිණි බව අප සමග කීය. මේ ව්‍යාපෘතිය ඉතාම දුර්වල එකකි. බරපතළ ලෙස දේශපාලනීකරණය වූ අඩවියකි. චක්‍රලේඛ හෝ අදාළ නිලධාරීන් අමනෝඥ ලෙස ප්‍රතිචාර දක්වන ප්‍රශ්නයකි. ඉතාම කුඩා රටක් වන අප මේ පිළිබඳ ප්‍රශස්තතා නිපදවා නොගැනීම පිළිබඳ ලජ්ජා විය යුතුය.

උසස් පෙළ සඳහා නියමිත පෙළ පොත් කලට වේලාවට ඉල්ලා සිටීමට මේ සටනින් බල කළ යුතුය. ගුරු අත්පොත් හිඟකම හා නොලැබීම අපකීර්තිමත් තැනක ඇත. මේ ගැටලු දෙක සෘජුවම සරසවිවලට දරුවන් සුදුසුකම් ලැබීමට බලපායි. උසස් පෙළ දරුවන් ඇමතීමට සහ ගුරුභවතුන් ඇමතීමට මම නිරතුරු ව දිවයිනේ දුෂ්කරම පාසල් කරා වුවද යන්නෙක්මි. මගේ අත්දැකීම රුදුරු එකකි. දැනුම් කේන්ද්‍ර පිළිබඳ සිහින තෝරන මේ පරාභවයට අන්ධව සිටීම ලංකාවේ පාසැල් අධ්‍යාපනයේ අවාසනාව ය. එක පංති කාමරයක සිටින සිසුන් ප්‍රමාණය 45ක් පමණ වේ. මෙවැනි පන්ති කිහිපයක රාජකාරී කරන පාසැල් ගුරුවරු සිටින්නේ අන්ත අසරණ තත්ත්වයක ය. වැඩ අධික බව ඔවුනට අධික වෙහෙස හා අතෘප්තිය ගෙන දේ. අකාර්යක‍ෂමතාව ප්‍රතිඵලය ලෙස සම්මුඛ වේ. ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, පිළිගැනීමේ උත්සව, ආදියේ අධ්‍යාපන මනෝවිද්‍යාව පරදවා ආටෝපය වැඩි වීමෙන් දරුවනට ඉගෙනුමට කාලයක් නැත.

සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළපොත් වූ කලී වෙනම ඛේදයකි. ගම්පෙරළියට ගෙන ආ වෙනස යුගාන්තය යි. එයට ගෙන ආ වෙනස මළගිය ඇත්තෝ ය. මනමේ ඉවත් කර රත්නාවලී ගෙනවිත් ඇත. මේ ප්‍රගතිශීලි වෙනස් කම් නොවේ. මේවායේ ව්‍යාපාරික පැත්ත සැලකූ විට ද ජීවත් වන්නේ එකම පවුලකි. සීමිත පිරිසකි. උසස් පෙළ සිසුවාට නීරස බව විෂය නිර්දේශයෙන් උරුම වී ඇත. මේවා පිළිබඳ කරන සාකච්ඡාව අතිශය වැදගත් ය. සිංහල බඳු විෂයක ඇති කඩා වැටීම තවමත් කිසිවෙක් නිවැරදිව නොදනිති. මේ සියල්ල නිවැරදි කෙරුමට බල කළ යුතු ප්‍රශස්තම තැනැත්තා සරසවි ඇදුරාම වේ. දුර්වල හා කලකිරුණු එසේම වාණිජවාදය මගින් විකෘති වූ මනස් සහිත දරුවන් සරසවිවලට පිවිසි කල ප්‍රශ්නය උග්‍ර වන බැවිනි. උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර සැකසීම, ඇගයීම්, පුනරීක‍ෂණ කි්‍රයාදාමය පිළිබඳ අර්බුද උග්‍ර තැනක ඇතත් පොදු ජනයා එය නොදනිති. අනාගතයේදී විද්වතුන් ගුරුභවතුන් මේවායින් ඉවත් වන්නේ වැඩවර්ජනයක ප්‍රතිඵල ලෙස නොවන බව වගකිවයුත්තන් සිතිය යුතුය. වර්ෂපූර්ණ උත්සව, සැණකෙළි, මේලා හෝ යුද ජයග්‍රහණ සැමරීමට කෝටි ගණන් වැය කරන මේ රජය පසුගිය වසරේ උසස්පෙළ පුනරීක‍ෂණ ඇගයීම සඳහා තවමත් රුපියලක් හෝ ගෙවා නැත. මාගේ යෝජනාව නම් මෙවැනි පරිසරයකදී knowledge hub බඳු වචන දූෂණය නොකොට එහි අගය, නිර්වචනය හඳුනන රටවල් පිණිස ඉතිරි කළ යුතුය යන්න යි.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම පිළිබඳ යථා තත්ත්වය ද හැම දෙනාම නොදනිති. එහෙත් දෙමපියෝ දනිති. ඊළඟට තිබෙන්නේ ඔවුන්ගේ අසරණ බවයි. මේ වන විට සියලුම රජයේ පාසල්වල මාසිකව හෝ අධ්‍යාපන වාරයකට අසරණ මව්පියන්ගෙන් එකතු කරන මුදල ඔබ දන්නේද? ඇතැම් පාසල්වල එක පංති කාමරයකින් රු. 35000 සිට 50000 පමණ දක්වා මුදල් එකතු කරති. මේවා ආවරණය කළ හැකි පාසැල් සංවර්ධන පනත් පලිහට තබා ගැනේ. දැන් නිදහස් අධ්‍යාපනය තිබෙන්නේ කොතැනකද යන්න අසන්නේ කාගෙන්ද? රටට ආදරය කරන හා නොකරන යන සූත්‍රය ගෙනැවිත් මේවා නිහඬ නොකළ යුතු ය. සරසවි ඇදුරනි, මේ සටන් පාඨවලින් අරගලය පුළුල් කළ යුතු ය.

විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය

යට කී පාසල් පද්ධතියෙන් දරුවා සරසවිවලට පිවිසෙයි. එහි තත්වය ද ඛේදනීය ම වේ. මේ දිනවල විද්වතුන් රාශියක් විසින් මේවා විග්‍රහ කරනු ලැබ ඇත. ඒ ලේඛන රැස් කොට ආචාර්ය සමිති සම්මේලනය මගින් ග්‍රන්ථයක් ද සංගෘහිත කොට ඇත. මේ අවකාශය අප භාවිත කළ යුත්තේ සරසවිවල පවතින අඩුපාඩු පිළිබඳ මැසිවිලි නැගීමට නොවේ. මේ වර්ෂය ආරම්භයේ සිට ම සබරගමු සරසවිය බොහෝවිට වසා දමා තිබිණ. දැන් ආචාර්යවරුන්ගේ ගැටලුව නිසා ද සරසවි පරිපාලනය බිඳ වැටී ඇත. දැන් සිසුන් හා දෙමව්පියන් ගන්නා තීරණ කෙබඳුද? තවදුරටත් මේ සරසවි විශ්වාස කරමුද? විද්වතුන් ශීඝ්‍රයෙන් මේ සරසවි පද්ධතිය හැර යමින් සිටින අතර ප්‍රථම පංති සාමාර්ථ ලාභීහු ආචාර්ය මණ්ඩලයට එක්වීම ප්‍රතිෙක‍ෂප කරති. දැන් ඉතින් ඉතිරිවී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය නොවේදැයි රජය නාසනු ඇත. මේ සියලු ප්‍රයත්නයන් රටේ අසරණ දෙමව්පියන් ලවා අමාරුම තීරණය ගන්වන්නට ය. එවිට අපරාධයේ වගකීම අදෘශ්‍යමාන වනු ඇත.

පර්යන්තයේ පවතින සබරගමුව, රජරට බඳු සරසවි බොහෝ විෂයන් ආරාධිත ආචාර්යවරුන් (visiting Academics) මගින් නඩත්තු කරති. එහෙත් ඒ අය රඳවා ගැනීමට කිසිදු ආකර්ෂණීය වැඩ පිළිවෙළක් මේවායේ නැත. නවාතැන් සම්බන්ධව ඇති කරන මූලික ගැටලුව නිසා බොහෝ දෙනා කලකිරෙති. ඊළඟ වසරේ ඔවුන් නොපැමිණෙනු ඇත.

බොහෝ විශ්වවිද්‍යාලවල පරිපාලනය ගන්නා අදූරදර්ශී තීරණ නිසා කලකිරීම හා අතෘප්තිය දිනපතා වගා කෙරෙන බව නොරහසකි. ඇතැම් උපකුලපතිවරුන්ගේ මහාචාර්ය පදවි පිළිබඳ ප්‍රසිද්ධ ජනමාධ්‍ය නැගූ ප්‍රශ්න අද යට ගැසී ඇත. බුද්ධිය හා ප්‍රඥාව අද සරසවිවලට අත්‍යවශ්‍ය නැති සෙයකි. 1978 ඇති කළ අර්ථ ක්‍රමය හා විධායක ජනාධිපති ක්‍රමය දේශපාලනික තනතුරකට වඩා ආර්ථීක තනතුරක් ලෙස අධිනිශ්චය වී ඇත. එහි රහස් ගිවිසුම නම් ලාභ ලැබීමේ ක්‍රම ඇති කිරීම, ඒවාට බාධා නොකිරීම යන්න යි. උපකුලපති තනතුර ශාස්ත්‍රීය භාවයෙන් මිදී දේශපාලනීකරණය වී ඇත. එහි රහස් ගිවිසුම නම් කීකරුව සිටීම- හීලෑවීම යනාදිය යි. මේ සූත්‍රය ක්‍රියාත්මත වුවහොත් සිරිලක ජාතික සරසවි ව්‍යසනයට ගොදුරුවීම අනිවාර්ය ඵලයක් වනු ඇත. උපකුලපතිවරුන් පිස්සන්දැයි විනිසුරෝ අසති. විපරීතතාව ආත්ම කොටගත් මේ වැනි උදවිය දීප්ති කුමාර ගුණරත්නගේ වැකියක් සිහිපත් කරයි. එනම් මේ රටේ දැන් සාජන්ට් නල්ලතම්බිලා යා හැකි උපරිම දුරගොස් නල්ලතම්බි යුගයක් නිපදවා ඇති බවයි.

ස්වාධීන බුද්ධිමතුන්වීම කෙසේ වෙතත් ව්‍යාජ බුදධිමතුන් නොවී සිටීම ඉතාම වැදගත් කරුණකි. බාහිර පාර්ශ්වවල නිරවද්‍යතාව ඉල්ලා සිටින මේ අරගලය අපේම පාර්ශ්වවල පාරදෘශ්‍යතාවද ප්‍රශ්න කරන තැනක සටන් පාඨ නිර්මාණය කළ යුතුය. ව්‍යාජ මහාචාර්යවරයෙකු අනාවරණය කළ විට අව්‍යාජ මහාචාර්යවරුන් නිහඬව සිටීම පළමු කරුණට වඩා බිහිසුණු ය. කුඩා විභාග වංචාවකට සිසුනට දඬුවම් දී පංති තහනම් කරන අපි ව්‍යාජ බුද්ධිමතුන් පිළිබඳ මුනිවත රකිමු ද? ඇදුරු අරගලයේ ස්වයංවිවේචනශීලිත්වය හරහා මහජන විශ්වාසය, ගෞරවය දිනා ගැනීමට මෙය ඉවහල් වනු ඇත. අප ප්‍රෝත්සාහී විය යුතු වන්නේ කෙසේ හෝ මහාචාර්යවරයෙකු වීමට නොවේ. එසේ උත්සාහ කළ අයගෙන් ඇතැම් විට මහාචාර්ය පදවි පසුගිය සමයේ පිරීගියා අපි දුටුවෙමු. ස්වයං විවේචනශීලීත්වය ද රමණීය සටන් පාඨයක් බව සිහි කළ යුතුය.

මේ රටෙහි නීතියේ ආධිපත්‍යය පිහිටුවීම ඉල්ලා සිටීම අපගේ ප්‍රධාන සටන් පාඨය විය යුතුය. සියල්ල එන්නේ ඊට පසුපසින් නොවේද? සරසවිවල වංචා දූෂණ අනාවරණය කිරීම ඇතැම් විට රැකියාව අහිමි වීමට හේතු වේ. සරසවිවලදී නීතිය අර්ථකථනය කිරීම් බරපතළ ගැටලුවලට තුඩු දේ. සැමටම නීතිය සමානව බලපාන්නේ නැත. දූෂණ අනාවරණය කළ විගණන වාර්තා හෝ පරීක‍ෂණ ඇතැම් ස්ථානවලින් පසු ඉදිරියට යන්නේ නැත. මේවා පිළිබඳ නිදර්ශන ඕනෑ තරම් සරසවිවලින් සොයා ගත හැකිය. නීතිය පිහිටුවා, සත්‍ය ප්‍රතිෂ්ඨාපනය පතා හඬනැගීම මේ අරගලයේදී කළ යුතුමය. ශ්‍රීමත් අයිවර් ජෙනිංස් ලක්දිව උපකුලපති තනතුරින් පසු කේම්බි්‍රජ් සරසවියේ උපකුලපති තනතුර දරමින් සිට කීර්තිමත් ශාස්ත්‍රවන්තයෙක් වෙයි. ලක්දිව ඇතැම් උපකුලපතිවරු සිය ධුරකාලයෙන් පසු ආපන ශාලාවේ තනිවෙති. ඔහු සමග තේ කෝප්යක් නොබී බොහෝ අය නැගිට යති. මේ නීතියේ පාලනයෙන් තොරවීමේ විපාක ඔහුට ම සම්මුඛ වන විට උද්ගතවන තත්ත්වයට කියනා තවත් නමකි.

වැටුප් අරගලය බොහෝ ජීවිත හා බැඳුණු භෞතික සත්‍යයේ පිළිබිඹුවකි. එහෙත් ක්‍රමානුකූලව පුළුල් වන අරගලය නිසාම අද එය විශ්වාස කරන තැනකට ශී්‍ර ලාංකික ඇකඩමියාව ගමන් කරයි. මේ කලාතුරකින් ජනිත වූ විභවතාව විනාශ නොවිය යුතුය. බලපෑම් කණ්ඩායමක් දක්වා මේ ගාමක බලය වර්ධනය වුවහොත් යෙදූ දියවර අපතේ නොයනු ඇත. අප දැනටමත් හෙළි කොට ඇත්තේ වැටුප් වර්ධනය ඉටුවූ පසු ද අරගලය අත නොහරින බවය. මක්නිසාද ධනවාදයේ විකෘති අඩවියක් ලංකාවේ විපරීතතාව දක්වා පොලා පැන ඇති බැවින් අර්බුදය යාවත්කාලීන වන බැවිනි. අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රයේ සමස්ත නිවහල් බව වෙනුවෙන් තෝරන පුළුල් සටන් පාඨ ; දැනුම් කේන්ද්‍රය නම් මිථ්‍යාවේ තිබෙන එකම යථාර්ථය යි.