If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 8, 2011

සුදු කහ කෙල්ලො කොල්ලො සිටීමෙන් අපේ අයට 'හොඳ චොයිස්' එකක් තියෙයි - එස්. බීගේ 'වොයිස්' එක එළියට

(ලංකා ඊ නිව්ස් -2011.ජූලි.08, පෙ.ව.6.15) උසස් පෙළ සමත්ව සරසවි සුදුසු කම් ලැබූ ලක‍ෂයකට පමණ ශ්‍රී ලංකාවේ දරුවන් සරසවියකට ඇතුළු වීමට නොහැකිව සිටියදී විදේශ සිසුන් දහසක් පමණ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් කර ගැනීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කෙළේ මෙසේය.

''මේ විදේශ දරුවො එන එකෙන් අපේ දරුවන්ට කිසිම අවාසියක් වෙන්නේ නෑ. අපේ දරුවන්ට වාසියක් වෙන්නෙ. ඉතාම හොඳ වාසියක් වෙන්නෙ. මේ විශ්ව විද්‍යාල වල කළු කෙල්ලො කොල්ලො ඉඳියි, සුදු කෙල්ලො කොල්ලො ඉඳියි, කහ කෙල්ලො කොල්ලො ඉඳියි, ඇස් දිග එවුන් ඉඳියි, නහයවල් කොට එවුන් ඉඳියි, සේරම ජාතියෙ එවුන් ඉඳියි. එහෙම තමයි විශ්ව විද්‍යාලයක් ජාත්‍යන්තර තත්ත්වයට එන්නෙ. අපේ තරුණ තරුණියන්ට 'හොඳ චොයිස්' එකක් තියෙයි.(සිනහා වෙයි) මේක නරක එකක් නොවෙයි. විශ්ව විද්‍යාල ජාත්‍යන්තර තලයට යන්න මේක අත්‍යාවශ්‍ය කාරණයක්. විදේශ දරුවො ආවම අපේ අයට මොනවද වෙන්නේ? කියනවා. මේව තනිකරම මෝඩ කතා. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත අපු ගමන් ඒ හැම ආයතනයකටම අපේ දරුවො සියයට විස්සක් නිකං දානව.''

ලංකාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙන ඒම ගැන ඇමැති වරයාගේ මතය මෙම ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි විය.

පසුගිය කාලයේ වානිජ විෂයෙන් උසස් පෙළ විභාගය ඒ 3 ක් සහිතව සමත් දරුවන් තිස් ගණනක් සරසවි වරම් අහිමි වී සිටින බව මාධ්‍ය විසින් වාර්තා කෙළේය. ඔවුන්ට සරසවියකට ඇතුළු වීමට ඊටත් වඩා කුමන සාමාර්ථයක් ගත යුතු දැයි නොදනී.

මෙවන් තත්ත්වයක් තිබියදී විදේශ සිසුන් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගැනීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ විරෝධතාවක් පැවැත්වීය එහි සේයාරුවක් මෙහි ±ක්වේ.