If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, July 17, 2011

විභාග වැඩවලට ගෞරවනීය පිරිසකගේ සහාය අපට ලැබෙනවා - විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසූරිය

සිළුමිණ 17/07/2011

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය සංවිධාන කටයුතු බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව කරගෙන යන බවත් පෙර වසර වල ආකාරයට ම මෙවර විභාග කටයුතු සඳහාත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පූර්ණ සහාය ද ලැබී ඇති බවත් විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසූරිය මහතා පවසයි.

සිළුමිණ සමග උසස් පෙළ විභාගයට ඇති සූදානම ගැන විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එදිරිසූරිය මහතා මේ ප්‍රකාශය කෙළේය.

මේ විභාග රාජකාරි සඳහා යොදවා ගන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සියයට පහක් වැනි සුළු පිරිසක් පමණක් බව ද විභාගය සදහා සහාය නොදෙන බව කියන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ අය කිසිදා විභාග දෙපාර්තමේන්තුවට පය නොතැබූ පුද්ගලයන් යැයි ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කීය.

එම සම්මුඛ සාකච්ඡාවේදී ඇසු ප්‍රශ්න කිහිපයක් හා ඒවාට එදිරිසූරිය මහතා දුන් පිළිතුරු මෙසේ ය.

* ඇතැමුන් ප්‍රශ්න කරන්නට හදන මෙවර උසස් පෙළ විභාගයේ සංවිධාන කටයුතු කෙබඳු ද කියා මුලින්ම කිව්වොත්...?

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 8 වැනිදා ආරම්භ කර සැප්තැම්බර් 3 වැනිදා අවසන් කරනවා. දින 22 ක් පුරා විභාගය පැවැත්වෙනවා. ඉරිදා දින හැර මේ කාල වකවානුව තුළ විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන්න සියලු කටයුතු යොදා තිබෙනවා. මධ්‍යස්ථාන 2400 ක විභාගය පැවැත්වෙනවා. කාර්ය මණ්ඩලය 40,000 ක් විභාගයට යොදා ගන්නවා.

මේ අතරතුර අගෝස්තු 21 වැනි ඉරිදා පහේ ශිෂ්‍යත්ව විභාගයත් පවත්වන්න කටයුතු යොදා තිබෙනවා.

දැන් සමහරු මතවාදයක් පතුරුවන්න හදනවනේ නිදහස් අධ්‍යාපනයට අභියෝග එල්ල වෙලා තියෙනවා කියලා. මම විභාග කොමසාරිස් විදියට කියන්න කැමැතියි මේ වතාව තමයි උසස් පෙළ විභාගයට ඉතිහාසයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් පෙනී සිටින අවස්ථාව. මෙදා විභාගයට 294,800 ක් සිසු සිසුවියන් පිළිතුරු ලියනවා.

විෂය නිර්දේශ දෙකයි. නව නිර්දේශය හා පැරණි නිර්දේශය. නව නිර්දේශය ප්‍රථම වතාවට විභාගය පැවැත්වෙන්නේ මේ වතාවේ. ඒ විභාගය පළවැනි වතාවට පවත්වනවා වගේම පැරණි නිර්දේශ විභාගය අවසාන වතාවට පැවැත්වෙන්නේ 2012 වසරේදී. එතකොට 2013 සිට එක විෂය නිර්දේශයක් ඒ කියන්නේ නව නිර්දේශය යටතේ තමයි උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ.

* මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ සේවය ලබා ගැනීම ප්‍රශ්නයක් විය හැකි බවට ඇතැමුන් මත පළ කරනවා නේද?

වෙනදා වගේම ගෞරවනීය පිරිසේ සහාය අපට ලැබෙනවා. දිවයිනේ විශ්ව විද්‍යාල දහහතේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු හාරදහස් පන්සීයක පිරිස අතුරින් එකසිය පනහක් වැනි සුළු පිරිසක් විභාග පැවැත්වීමේ රාජකාරි සඳහා අප යොදවා ගන්නේ. විභාග පනත අනුව විභාග කොමසාරිස් ලෙස මට පැවරී තියන බලතල අනුව මගේ පෞද්ගලික අනුදැනුම මත තමයි මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මේ බාරදූර කටයුත්තට සම්බන්ධ කරගන්නේ. උසස් පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ප්‍රමිති කිරීම, පරිවර්තනය කිරීම, පිළිතුරු ලබාදීම, ඒ පිළිතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම ආදී කටයුතු කරන්නේ මේ ආචාර්ය මහාචාර්යවරු පිරිස තමයි.

වසර ගණනාවක් විභාග දෙපාර්තමේන්තුවට ඉහළම දායකත්වය දුන් විශ්වාසවන්තව සහාය දෙන අත්දැකීම් බහුල විශේෂයෙන්ම සල්ලි ගැන නොසිතන ඇතැම් විට නොමිලේම සේවය ලබා දුන් උගතුන් බුද්ධිමතුන් පිරිසක් ලෙස මේ පිරිස හඳුන්වා දෙන්න මා කැමැතියි.

* දැනට මේ විභාගය පැවැත්වීමට දෙපාර්තමේන්තුවේ සූදානම ගැනත් කිව්වොත්...?

ගත යුතු ක්‍රියා පිළිවෙළ අදියරෙන් අදියර කරගෙන යනවා. මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර සියල්ල සූදානම් කර අවසානයි. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතුත් සියයට 85 - 90 ත් අතර ප්‍රමාණයක් නිම වෙලා තියෙනවා. මේ දිනවල විභාග දෙපාර්තමේන්තුව ඒ විභාග මධ්‍යස්ථානවලට අදාළ ප්‍රශ්න පත්‍ර ඇසිරීමේ කටයුතු කරගෙන යන්නේ.

විභාගයට විෂයයන් 64 ක් තිබෙනවා. සිංහල, දෙමළ, ඉංගි‍්‍රසි කියන මාධ්‍ය තුනෙන්ම මේ ප්‍රශ්න පත්‍ර සකස් කරල තිබෙනවා. හැම විෂයකම ප්‍රශ්න පත්‍ර එක දෙක වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඇත්තටම බැලුවහම ප්‍රශ්න පත්‍ර කෝටියක ඇසුරුම් කටයුතු කරන්න අපට වෙනවා මේ සීමිත කාලය තුළදී. එතැනදී අපි විශේෂ දීමනා ඉල්ලන්නේ නැහැ වර්ජනය කරන්නේ නැහැ උසස් වීම් ඉල්ලන්නේ නැහැ.

තියන අවම පහසුකම් යටතේ රට ජාතිය වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරනවා, දිවා රාත්‍රි සේවය ඉටු කරලා.

* විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් ආචාර්යවරුන් ගේ සහාය නොලැබිය හැකි බවක් කියාගෙන යනවා නේද?
ඔය කියන ආචාර්ය සංගම් එක්ක මගේ කිසිම බැඳීමක් නැහැ.

* එම විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඔබට ලියමනකුත් එවු බව කියනවා?

ඒ ලියමන මට ලැබුණා. ඒක මගේ දැන ගැනීම සඳහා ගොනුවකට දාල තියනවා. මේ විභාගයට මට සම්පත් දායකත්වයෙන් කටයුතු කරන කිසිම ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් මේ මොහොත වෙනකම්වත් මට කියල නැහැ අපි මේ විභාග කටයුතු කරන්නේ නැහැ කියලා. මේ වෙනකොටත් ඒ අය ඒ කටයුතුවල යෙදී සිටිනවා.

* උත්තර පත්‍ර අගැයීමේ ක්‍රියාවලියට වෙනසකින් තොරව මෙදත් විශ්ව විද්‍යාල ආචාර්යවරු සහභාගි වෙයි කියල ඔබතුමා බලාපොරොත්තු වෙනවා...?

ඔව්.

විභාගය පටන් අරන් අගෝස්තු මාසේ තුන්වන සතියේ විභාගය පටන් අරන් දින 15 ක් ගියාට පස්සේ ඇගැයීම් ක්‍රියාවලිය ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මීට අදාළ ඒ රැස්වීම් ආදිය.

හේතුව මම විභාග කොමසාරිස්වරයා ලෙස ඔවුන්ට ලබා දෙන පත්වීමත් සමඟම අර මුලින් කියපු ක්‍රියාවලි පහම ඉටු කිරීම සඳහා තමයි අපත් එක්ක අවබෝධතාව ඇතිකරගෙන තිබෙන්නේ. ඒ නිසා මේ කළා වගේ ඉතුරු හරියත් ඉටුකරන එක ගැන මට කිසිම සැකයක් නැහැ.

ජාතියේ දරුවන් වෙනුවෙන් මේ කාර්ය ඉෂ්ට කිරීමේ වගකීමකුත් ඒ බුද්ධිමතුන් වෙත පැවරිලා තියෙනවා. ඔවුන්ට පැවරිලා තියෙන්නේ පැහැර හැරිය නොහැකි බැහැර කළ නොහැකි මහා වගකීමක් බව ඔවුන් දන්නවා.

* විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රශ්න පත්‍ර හැදුවත් උත්තර පත්තර ඇගැයීමේ කටයුතුවලට ආචාර්යවරුන්ගේ සහාය ලැබිය නොහැකි බව කියා තිබුණා නේද?

එතුමා කිසි විදියකින් මේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයා අපේ විභාග දෙපාර්තමේන්තුවට ඇවිල්ලවත් නැහැ. අපේ කිසිම රහස්‍ය කටයුත්තකට සම්බන්ධ වෙන්නෙත් නැහැ. වෙලත් නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ මම ගනුදෙනු කරන්නේ ආචාර්ය සංගමය එක්ක නෙවෙයි තනි තනි පුද්ගලයන් එක්ක.

* ආචාර්ය සංගම් කියන දේ මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දන්නෙ නැද්ද දන්නැහැ?

ඒක මමත් දන්නේ නැහැනේ. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය කිසියම් සංවිධානයක් ගනු ලබන තීන්දුවට හැම දෙනාම එකඟ වෙන්න ඕන. ඒ සංගමය ගත් තීන්දුව ඒ සාමාජිකයන්ට පොදුයි. ඉතින් ඒක ඒ සංගමය ගත් තීන්දුවක් වෙන්න ඇති. මේව කරන්නේ නැහැ කියලා.

මට කියන්න තියෙන්නේ මේ මහා බැරැරුම් රාජකාරිය වගකීම ඉටු කරන්න සම්පත් දායකත්වයෙන් සම්බන්ධ වන ඒ කිසි කෙනෙක් තම රාජකාරිය මේ වෙනකම් අබමල් රේණුවකින් වත් පැහැර හැරලා නැහැ. අපේ එකඟතාව තියෙන්නේ අපේ සම්පත් දායක විශ්ව විද්‍යාල ආචාර්ය වරු සමඟ පමණයි. මේකෙ අදියර කීපයක් තියෙනවා. ඒක මම කියන්නම්. පළමු එක ප්‍රශ්න පත්‍රය සකස් කිරීම. දෙවැනි පියවර ප්‍රශ්න පත්‍රය ප්‍රමිත කිරීම. තෙවැන්න අවශ්‍ය අවස්ථාවලදී ප්‍රශ්න පත්‍රය ඉංගි‍්‍රසියට, දෙමළට, සිංහලට පරිවර්තනය කර දීම. සිව්වැන්න ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු ලබාදීම. ඒවාට ලකුණු ප්‍රදානය කරන ආකාරය දැන්වීම ඉතින් මේ සියලු කටයුතු එතුමන්ලා ඉෂ්ට කරල දීල තියෙන්නේ. මේ වන විටත් කවුරු හරි කියනව නම් මේ කටයුතු කෙරෙන්නේ නැහැ කියලා ඒ කතා සියල්ල ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒක සත්‍යයක් නොවෙයි.

* උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ කටයුතුවලට විශ්ව විද්‍යාල ආචාර්යවරු සහභාගි නොවන බව ඇතැමුන් කියාගෙන යනවා...?

මමත් මෙහෙම කතාවක් ඇහුව්වා. එක්තරා දේශපාලනඥයකුත් මෙහෙම කතාවක් කිව්වා කියලා. මේ කටයුත්ත කෙරෙන ආකාරය පැහැදිලි කරන්න මා කැමැතියි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ කාර්ය භාරය තමයි අපේ උත්තර පත්‍ර ඇගැයීමේ නිරත වන පාසල් පද්ධතියේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගේ මණ්ඩල අධීක්ෂණය කිරීම. ඒ අයට කියන්නේ ප්‍රධාන පරීක්ෂක කියලා. ඒ විෂයට අදාළව විශ්ව විද්‍යාලයෙන් පත්කරන ආචාර්යවරයාට අපි කියනවා ප්‍රධාන පරීක්ෂකවරයා කියලා. එවැනි මණ්ඩල පහක් හයක් විතර එක විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණය කියන්නේ මේ කියන ක්‍රියාවලිය නිවැරැදිව ඉටු වෙනව ද කියන එක බැලීම. ඔය මණ්ඩල පරීක්ෂකවරු 15 ක් විතර ඉන්න උත්තර පත්තර ඇගැයීමට ලක්කරන මණ්ඩලයක්.

මේ ක්‍රියාවලිය අධීක්ෂණය කරනවා මිසක් විශ්ව විද්‍යාල ආචාර්යවරු උත්තර පත්‍ර බලන්න යන්නේ නැහැ. ඒ මණ්ඩලයේ ප්‍රධානියා විදියට කටයුතු කරන්නේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයෙක්. අතිරේක ප්‍රධාන පරීක්ෂක කියන්නේ පාසල් පද්ධතියේ ඉන්න ඇගැයීම් ක්‍රියාවලියේ නිරත වන නිත්‍ය ජ්‍යෙෂ්ඨතම ගුරුවරයා. අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයා යටතේ තියන මණ්ඩල පහක් හයක් එක ප්‍රධාන පරීක්ෂකවරයෙක් ඒ කියන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් අධීක්ෂණය කරනවා. ඒ අය කඩින්කඩ ඇවිල්ලා සමහර විට දින 12 ක් තියනව නම් දින හයක් හතක් ඇවිල්ලා මේ ක්‍රියාවලිය පරීක්ෂා කරල බලල යනවා. ඔහුට ස්ථිර ජොබ් එකක් එතන නැහැ. නමුත් අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයා තමයි තමා යටතේ ඉන්න ගුරු භවතුන් බැලු සියලු දෙනාගේම උත්තර පත්‍ර සෝදිසියට ලක් කරන්නේ. නිර්දේශ ලබා දෙන්නේ. එතකොට අපට පේනවා පැහැදිලිවම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අධීක්ෂණ ක්‍රියාවලියේත් අපේ පාසල් පද්ධතියේ ජ්‍යෙෂ්ඨ ගුරු භවතුන් උත්තර පත්‍ර ඇගැයීම් ක්‍රියාවලියේත් යෙදී ඉන්න බව.

* එහෙමනම් විශ්ව විද්‍යාල ආචාර්යවරු උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්නෙම නැද්ද?

මේ උසස් පෙළ ළමයින්ගේ පිළිතුරු පත්‍ර බලන්නේ ජ්‍යෙෂ්ඨ ඒ විෂය පාසල් පද්ධතියේ උගන්වන ගුරු භවතුන්, ඔවුන් තමා මේ උත්තර පත්‍ර බලන්නේ. එහෙම ගුරු භවතුන් තිස්දහසකගේ සේවය ලබාගන්න අපි කටයුතු කරල තියනවා. අඩුම වශයෙන් පස් අවුරුද්දක් ඒ විෂය පන්ති කාමරයේ උගන්වපු ගුරු මහතෙක් තමයි මෙහෙම තෝරගෙන තියෙන්නේ. එක ව්‍යතිරේකයකුත් තියනවා. සීමිත සංඛ්‍යාවක් ශිෂ්‍යයන් ඉන්න විෂයන්වල ඒ කියන්නේ ළමයි දෙතුන් සියයක් හාරසියයක් පන්සියයක් පෙනී ඉන්න ඇතැම් විෂයන්වල උත්තර පත්‍ර ඇගැයීම කරන්නේ ඒ ප්‍රශ්න පත්‍රය සකස් කරන ප්‍රමිත කරන ඒ මණ්ඩලයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මඟිනුයි.

* ගුරුවරුන්ගේ සංගමයකුත් සහාය නොදෙන බව කියනවා?

එක ගුරු සංගමයක් මට ලියමනක් එවල තියනවා ගුරු සංගමයක් හැටියට ඇගැයීම් කටයුතුවලින් ඉවත් වෙනවා කියලා. ඒ වුණාට ගුරුවරු හැටියට හතළිස් පන්දහසක් ඉල්ලුම්පත්‍ර එවල තියනවා ඒ අයව මේ කාර්යට තෝර ගන්න කියලා. ඒ අය අතරින් තිස් දහසක් අපි තෝරගෙන තියෙනවා. ඉතින් මේ ගුරු භවතුන් එක්ක මිස මේ රාජකාරිය කරන්නේ ගුරු සංගම් එක්ක නෙවෙයි. ඒ අය ගුරු සංගම්වල සාමාජිකයෝ වෙන්න පුළුවන්.
නමුත් අපි තෝරගෙන තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුව හා ගුරුවරයා අතර ඇතිවෙලා තියන ගිවිසුමකට අනුව. ඒ නිසා ගුරු මහතුන්ගේ සේවය ලබාගැනීම ගැනත් ප්‍රශ්නයක් නැහැ. 2006 අධිකරණ පූර්වාදර්ශයකුත් අපට තිබෙනවා.

* ඔබ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සේවය ලබා ගැනීම ගැන ඉතාම සුබවාදීවයි කතා කරන්නේ...?

විශ්ව විද්‍යාල ආචාර්ය වරු කියන්නේ රටේ බුද්ධිමත් භාවයේ ඉහළම මල්කඩ. ඒ අය තමයි මේ සමාජය වෙනස් කිරීමේ කාර්ය භාරයේ නියමුවෝ. කොටින්ම විශ්ව විද්‍යාලය කියන්නේ ජාතියේ බුද්ධි ප්‍රභාවය මෙහෙයවන ශුද්ධ භූමිය. ශුද්ධ භූමියේ ඉන්න අය වේදනාවෙන් දුක්මුසුව ඉන්නව නම් ඒ පිළිබඳවත් රටේ අවධානය යොමු විය යුතුයි. ඔවුන් ඉදිරිපත් කරන ගැටලුවලට අනිවාර්යෙන් විසඳුමක් ලබාදිය යුතුයි කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා.

අපට සම්පත් දායකත්වය දෙන ආචාර්යවරු ඒක ජාතික මෙහෙවරක් හැටියට සලකල මේ කාරණාව ඉෂ්ට කරන්නේ. ඔවුන් මෙතෙක් ඉටුකළ කාර්යභාරයත් ඉටුකරමින් සිටින කාර්යභාරයත් සුළුපටු නොවන බව ඔවුනුත් අපිත් දන්නවා.

මේ විරෝධාකල්ප ගෙනියන්න හදන අයට අපේ සම්පත් දායකයෝ විදියට ඉන්න ආචාර්යවරු මම හිතන්නේ එක්තරා විදියක පණිවුඩයක් ආදර්ශයක් දී තියෙනවා මේ කාර්යභාරයේ අපි යෙදිය යුතු ය මෙය අපේ ජාතික වගකීමක්, මෙයින් අපට බැහැර වෙන්න බැහැ කියන මේ කාර්යාවලියම ඔවුන් සම්බන්ධ වීමේ අර්ථය ලෙස මා දකින්නේ. ඉල්ලීම් දිනාගන්න වගකීම් ඉෂ්ට කරමින් යා යුතු ය කියන ආදර්ශය තමයි ඔවුන් දීල තියෙන්නේ.

* උසස් පෙළ විභාගය පැවැත්වීම වගේම ප්‍රතිඵල නිකුත් කිරීමේ ඉලක්කයකුත් ඔබට තිබෙනවා...?

ගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵල දුන්නට වඩා සතියකටවත් කලින් මේ පාර විභාග ප්‍රතිඵල දීම තමයි අපේ අරමුණ වන්නේ. ඉහළම ගුණාත්මක භාවයකින් හා අධීක්ෂණ ක්‍රියාවලියක් සහිතව මෙවරත් ප්‍රතිඵල නිකුත් කරන්න පියවර ගන්නවා.

සංවාද සටහන
සරත් පෙරේරා
ඡායාරූපය - විමල් කරුණාතිලක