If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, July 26, 2011

පොරොන්දු කැඩුවොත් යළි වෘත්තීය සටන් - විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති

දිවයින 26/07/2011

නිලන්ත මදුරාවල

ආණ්‌ඩුව දුන් පොරොන්දු කඩ කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග යළි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. ආචාර්යවරුන් දැඩි පිබිදීමකින් හා එක්‌සත් බවකින් සිටින හෙයින් පොරොන්දු සමග සෙල්ලම් කිරීම එතරම් සුබදායී නොවන බව ද ඒ මහතා කීවේය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාලයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ඇතුළු සෙසු ගැටලුවලට දීර්ඝ කාලීන විසඳුමක්‌ ලබා ගැනීම සඳහා ඒකාබද්ධ කමිටුවක්‌ පත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන තෙක්‌ සම්මේලනය බලා සිටින බව ද කලින් එකඟ වූ ආකාරයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අංක 956 දරන චක්‍රලේඛය ඉවත් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද සඳහන් කළ දේවසිරි මහතා වැටුප් අරගලය පාවාදුන් බවට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.