If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 30, 2011

විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත්කිරීමට නම් ඉල්ලා අස්‌වී සිටින අංශාධිපතිවරුන්ට අලූතින් පත්වීම් ලිපි දිය යුතුයි

දිවයින 30/07/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත්කිරීමට නම් දැනට ඉල්ලා අස්‌වී සිටින අංශාධිපතිවරුන් සඳහා අලුතින් පත්වීම් ලිපි නිකුත් කළ යුතු යෑයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (29 වැනිදා) තීරණය කළේය.

උපකුලපතිවරුන් එසේ නොකිරීම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ ආණ්‌ඩුව ඇතිකරගත් එකඟතාව කඩ කිරීමක්‌ බව ද එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින" ට පැවැසීය.

අංශාධිපතිවරුන්ගේ ඉල්ලා අස්‌වීම් ලිපි පාලක සභාවන් භාර නොගැනීම නිසා යළි පත්වීම් ලිපි නිකුත් කිරීමේ අවශ්‍යතාවක්‌ නොමැති බව උපකුලපතිවරුන්ගේ සම්මේලනය පෙරේදා (28 වැනිදා) තීරණය කළ අතර මෙම තත්ත්වය යටතේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම තවදුරටත් කල් යන ලකුණු පහළ වී ඇත.

ඉල්ලා අස්‌වීමේ ලිපි පාලක සභාවන් භාර නොගත්ත ද පසුගිය මාස දෙකහමාරක කාලයේදී අංශාධිපති ධුර පුරප්පාඩු වී පැවැති බවත් අධ්‍යයන කටයුතු සිදු නොවූයේ ඒ නිසා බවත් සභාපතිවරයා සඳහන් කළේය. තම සම්මේලනය සමඟ ආණ්‌ඩුව ඇතිකර ගත් එකඟතාව පවත්වා ගැනීමට නම් හිටපු අංශාධිපතිවරුන් එම ධුරවලට යළි පත්කළ යුතු යෑයි ද එය උපකුලපතිවරුන්ගේ වගකීමක්‌ යෑයි ද ඒ මහතා කීවේය. සම්මේලනයේ විධායක සභාව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද සියලු දෙනාගේ එකඟතාව වූයේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා අංශාධිපතිවරුන් අලුතින් පත්කිරීම යෑයි ද දේවසිරි මහතා ප්‍රකාශ කළේය.