විකල්ප 15/07/2011
රටක් සමාජයක් කාලයත් සමඟ ගමන් කිරීමේදී එම රටෙහි හෝ සමාජයේ හැරුම් ලක්ෂවලට ලඟාවීම කාලානුරූපව සිදුවේ.එහෙත් එහි බරපතල කාරණයක් වන්නේ එම හැරුම් ලක්ෂයේදී රට හෝ සමාජය ගමන් කරන දිශානතිය වැරදි මාවතකට යොමුවීමයි. එය මේ වන විට ලෝකයෙන්ම උතුම් රට වන අප මව් බිම තුලද සමාජයේ සිටින නොහැඟෙන නොදැනෙන මිනිසුන්ට පෙනි පෙනීම සිදුවීම මේ රටේ මානව සම්පත වර්තමානය වන විට සිටින මානසික තත්ත්වයේ කැඩපතට හොඳම සාක්ෂිය යි.
රටක් ගොඩනැගීමට හෝ රටක් ඉදිරියට යාමට බලපාන ප්‍රධාන කාරණා ලෙස මුදල, දේශපාලනය, බලය නිර්ණායක ලෙස මහජනතාව දොහොත් මුදුන් දී පිළිගන්නා ලෝකයේ උතුම් රටවල් කිහිපය අතරට අප රටද වැටීම බරපතල කාරණයකි. එය මේ වන විට ද අප රට තුලද අත්විඳීමට තරම් අපද අභාග්‍යසම්පන්න වී ඇත.
රටක සංවර්ධනයේ හා රටක පැවැත්මක මූලික සාධකය වන්නේ එම රටේ සිටින මානව සම්පතයි. රටක සිටින ඉහලම මානව සම්පතට(බුද්ධිමතුන්ට) රට තුල ගෞරවාන්විතව තම මව්බිමට සේවය කිරීමට ඉඩ සලසාදීම රටේ තිබෙන ආණ්ඩුවක වගකීමයි. එහෙත් රටක බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට මුහුණ පා ඇති බරපතල කාරණා දෙස බලන විට අපගේ රටේ අනාගතය පැහැදිලිය.
මේ හැරෙන්නේ විනාශකාරී මාවතකටය. එසේ නැත්නම් බුද්ධිමතුන් රටක් හසුරවනවා වෙනුවට නූගතුන්, මැරයින්, සොරුන් රට පාලනය කරන යුගයකටය. මේ බව අපට සක්සුඳක් සේ පැහැදිලිය. නමුත් අභාග්‍යයකට කාරණය වන්නේ දේශපාලන රාමුවලට කොටු වූ මිනිසුන් සිටින රටක සංවේදී මිනිසුන්ට මෙවන් සරල කාරණයක් පවා නොහැඟෙන තරමට පහත් මානසික තත්ත්වයකට වැටීමයි. නැතිනම් පාලකයින් එම තත්ත්වයට රටේ මිනිසුන් බලහත්කාරයෙන් හෝ ව්‍යංගයෙන් පොළඹවා ගැනීමයි.
එයට හේතු ගණනාවක් බලපා තිබේ. ප්‍රධානතම හේතුව නම් මේ රටේ ජනමාධ්‍යවේදියාගේ සැබෑ භූමිකාව ඔහුට අමතකව තිබීමයි. රටක පවතින සැබෑ තතු ආණ්ඩුවට හෝ දේශපාලන න්‍යාය පත්‍රයන්ට යට නොවී රටේ ජනතාව අතරට ගෙනයාම හා රට තුල අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ජනමතය ගොඩනැගීම අද සමාජය තුල සිදුවන්නේ නැත. තවද රටක අනාගතය, රටේ තීරණාත්මක සාධක දුරතියා බැලීමද ජනමාධ්‍යවේදියකු සතු වගකීමකි. නමුත් මේ වන විට රටේ තීරණාත්මක සාධකයක් ලෙස ගතහැකි ජනමාධ්‍යවේදීන් බහුතරයක් මුදලට යට වී හමාරය. එමගින් රටේ කාලකණ්ණි පාලකයන්ට දරදිය අදින, ඔවුන්ගේ කාලකණ්ණි වැඩපිලිවෙලවල් දොහොත් මුදුනෙන් ගෙන පිළිගන්වන රටක සමාජයක සැබෑ ප්‍රශ්න සැබෑ තතු පෙළ නොගස්නා මාධ්‍යයක් තිබීමද මෙම තත්ත්වයන්ට ප්‍රධානතම හේතුවකි.
එයට හොඳම නිදසුනක් වන්නේ රටේ විශ්ව විද්‍යාල පද්ධතියේ අධ්‍යයන කටයුතු ආචාර්යවරුන්ගේ සාධාරණ වැටුප් අරගලය හේතුවෙන් අඩපණ වී තිබුණද, රටේ සිටින ඉහලම බුද්ධිමතුන් පිරිස පාරට බැස තිබුණද මේ රටේ ජනමාධ්‍යය මේ තත්ත්වය සැබෑ ලෙස ජනතාව අතරට ගෙනයාමට නොහැකිවීමෙන් මේ බව පැහැදිලිය.
රටක සිටින ඉහලම මානව සම්පත රටකට කරන සේවය මිල කල නොහැක. ඔවුන් නිෂ්පාදනය කරනු ලබන සම්පත් මගින් රටක් සීඝ්‍රයෙන් දියුණුවක් කරා ගෙන යා හැක. නමුත් මේ වන විට රටේ සිටින ඉහලම මානව සම්පත වන හා මානව සම්පත්වල නිෂ්පාදකයක් වන විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්ට හා විශ්වවිද්‍යාල පද්ධතියට ලැබිය යුතු සැබෑ ගෞරවය නොලැබීම ජාතියේම අවාසනාවකි. එහෙත් රටේ සිටින වාචාල ඇමතිතුමා සහ සංවේදී මහරජාණන්ට මේ තරම් බරපතල කාරණයක් වටහාගැනීමට තරම්වත් මොලේ පැහැදී නැත. ඔවුන්ගේ වන්දිබට්ටයන්ටත් එය එසේම ය.
මෙම අරගලය මාස එකහමාරකටත් අධික කාලයක් දක්වා විසඳුම් නොදී රැගෙනයාමෙන් පැහැදිලිවන්නේ මේ ආණ්ඩුව අධ්‍යාපනය ගැන දරන ප්‍රතිපත්තියයි. තවද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අපි එකහෙලා මෙම සටනට සහය දෙන්නෙමු. කිමදයත් මේ මහ පුටුවල සිටින අධ්‍යාපනය විකුණාකෑමට සිතන ඔලමොට්ටලයින්ට නොපෙනෙන අනාගතයේ අඳුරු බව අපට දුර තියා දැකිය හැකි බැවිනි. මේ රටේ මේ වන විටත් විශ්වවිද්‍යාල තුල 2000ක පමණ ආචාර්යය හිඟයක් පවතී. තවද විදේශගතව නැවත මෙරටට නොපැමිණි ආචාර්යයවරුන්ගේ ගණන 550කට අධිකය. තත්ත්වය දිනෙන් දිනම දරුණු අතට හැරේ. නමුත් මේ ආචාර්යය හිඟයට, බුද්ධිගලනයට විසඳුම සොයාගෙන එයට පිලියම් යෙදීමට තරම්වත් දැනුමක් මේ පාලකයින්ට නොමැත.
ඒ වෙනුවට මිලියන 200/300 වියදම් කර තම පටු දේශපාලන උවමනා ඉටුකරගැනීමට පදනම සාදාගැනීමට නම් මුදල් හා මොලය ඇත. මෙයට ප්‍රධානතම හේතුව ආචාර්යවරුන්ට තම අධ්‍යාපන මට්ටමට ගැලපෙන වැටුපක් හා ගරුත්වයක් නොලැබීමයි. ඒ මත ආචාර්යවරයෙකු ලෙස තම මව්බිමට සේවය කිරීමේ සිහිනය ඔවුන් ඉවත දමා ඇත. ඒ තුල මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ මූලික ගැටලුවක් වන ආචාර්ය හිඟය නැමැති අර්බුදය ඉතාමත් වේගයෙන් ගමන් කරමින් පවතී. දැනට ඉංජිනේරු පීඨවල තත්ත්වය උග්‍ර අතට හැරී තිබෙන අතර අනෙකුත් පාඨමාලා සඳහා ද මෙම තත්ත්වය මතුවීම කිසිසේත්ම වැලකිය නොහැක. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨයක් සැලකූ විට සාමාන්‍ය උපාධිය රුගෙන රැකියාවකට යන්නේ රු:50000-60000ක මූලික වැටුපකටය. නමුත් ආධුනික කථිකාචාර්යවරයෙකුගේ වැටුප රු:27000කි, ආචාර්යවරයෙකුගේ මූලික වැටුප රු:57000කි.
තව ද වසරින් වසර අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කරනු ලබන මුදල විශාල වශයෙන් කපා දමමින් තිබේ. මේ මෙම රටේ මහරාණන්ගේ පාලනය අධ්‍යාපනයට සලකන අයුරුය. තවද මේ ආචාර්යවරුන්ගේ ගැටලුව හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන ඒමට ආණ්ඩුව දරන තැත අපට පැහැදිලිය. තවද විශ්වවිද්‍යාල තුල ආචාර්යවරුන්ගේ හිඟය තවත් උග්‍ර අතට හරවා රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දමා පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රට තුල ස්ථාපිත කිරීමට දරන උත්සාහයට ඉඩ නොතැබීම මේ රටේ සමස්ත ආචාර්යයවරුන්ගේද, සිසුන්ගේද, මහජනතාවගේ ද පූර්ණ වගකීම වන්නේය. කිමද මෙතෙක් මේ සියලු දෙනා මෙතෙක් තැබූ සෑම පියවරක්ම හා අනාගතයේ තබන සෑම පියවරකම මූල බීජය හා මූලිකම පදනම නිදහස් අධ්‍යාපනයයි.
තවද අධ්‍යාපනය මේ රටේ ඇමතිවරයෙක්ගේවත් මහරජෙකුගේවත් බූදලයක් නොවේ. රටේ සැමගේම සම අයිතියක්ව පවතින අධ්‍යාපනය රැකගැනීම අප සැමගේම වගකීමයි. එයට මූලික හා විශාලතම පදනම ආණ්ඩුව ආචාර්යය ගැටලුව හරහා දමා ගැනීමට උත්සාහ කරයි. එමගින් පෞද්ගලික උපාධි කඩ රට තුල ස්ථාපිත කිරීමට සැරසෙයි.
නමුත් එදා වේල ගැන පමණක් සිතන මේ රටේ මහජනතාවට මෙම කාරණය තවමත් වැටහී නොමැත. මේ සිතීමට හා මේ කාලකණ්ණි ක්‍රියාවන්ට එරෙහිව පෙරට ඒමට කාලය නොවේද. කිමදයත් මේ අප ඔබ ලබාගත් නිදහස් අධ්‍යාපන අයිතිය සමලෙස භුක්ති විඳීමට ලැබුණා සේ එය තවදුරටත් පුලුල් කරමින් අනාගත පරපුරට උරුම කරදීමේ භාරදූර වගකීම අපගේ හෘද සාක්ෂිය මත පතිත වී තිබීමයි.
බුද්ධික ප්‍රභාෂ් ලියනගේ