දිවයින 03/07/2011
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත. එවන් අරගලයකට ඔවුන් අවතීර්ණ වී ඇත්තේ වසර 3 1/2 තිස්‌සේ කළ සාකච්ඡාවලින් සාර්ථක ප්‍රතිඵලයක් නොලද නිසා බව ඔවුන්ගේ පාර්ශ්වයෙන් කියෑවෙන අතර, රජයේ පාර්ශ්වයෙන් කියෑවෙන්නේ 36% ක පඩි වැඩිවීමක් ලබා දුන් පසුවත් ඔවුන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹී ඇති බවයි. වසර ගණනාවක් තිස්‌සේ සාකච්ඡා කරමින් තිබූ ප්‍රශ්නයකට එවන් විසඳුමක්‌ද ලබා දී තිබේ නම් එයින් අනතුරුව මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීම පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් තිබේ දැයි සොයා බැලිය යුතුය. වරින්වර රජයේ පාර්ශ්වයෙන් එවැනි චෝදනා ද කෙරෙන බැවින් මේ විමසා බැලීම වඩාත් වැදගත් වේ.
මෙය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නම් එය අනිවාර්යයෙන් ම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් වේ. මක් නිසාද යත් එකී වෘත්තීය අරගලයට මුහුණ දෙන පාර්ශ්වය රජය වන බැවිනි. එවැනි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කිරීමට ඉඩ ඇති පාර්ශ්ව හඳුනාගෙන ඒ එක එකක් පිළිබඳව විමසා බැලිමෙන් එවැනි කුමන්ත්‍රණයක් තිබිය හැකි දැයි දැන ගත හැකි වනු ඇත. එහිදී එවැන්නක් පිළිබඳව සැක කළ හැකි ප්‍රධාන පාර්ශ්වයන් තුනක් නම් කළ හැකිය. එනම් ආණ්‌ඩු විරෝධී දේශපාලන පක්‍ෂ විදේශ බලවේග හා ඒවාට සහාය වන රාජ්‍ය නොවන සංවිධාන, සහ අඟේ ඉඳන් කණ කන රජයේම පාර්ශ්වයන් යන ත්‍රිsවිධ පාර්ශ්වයයි.
මෙම අරගලය ආණ්‌ඩු විරෝධී දේශපාලන පක්‍ෂවල කුමන්ත්‍රණයක් දැයි විමසා බැලීමේදී පළමුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේශපාලනය කෙරේ අවධානය යොමු කළ යුතුය. රටේ සාමාන්‍ය ජනතාව අතර මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ද විවිධ දේශපාලන පක්‍ෂවලට සහයෝගය දක්‌වන අය සිටිති. එහෙත් තමන් කවර දේශපාලන පක්‍ෂයේ දැයි හෙළිවන ආකාරයට ප්‍රසිද්ධියේ එකී සහයෝගය ලබා දෙන්නේ ආචාර්යවරු අතරින් 10 - 15% පමණ සුළු පිරිසකි. උදාහරණයක් ලෙස මැතිවරණයට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහාය තම පක්‍ෂයට බව පෙන්වීමට ඔවුන්ගෙන් ලබාගත් අත්සන් හා ඡායාරූප පුවත්පත් පිටු පුරා පළකෙරේ. එලෙස සෑම පක්‍ෂයකටම සහයෝගය පළ කළ ආචාර්යවරු ගණන ගණන් කළහොත් එය දෙතුන්සියය නො ඉක්‌මවයි. එහෙත් සමස්‌ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගණන 4500 කට ආසන්නය. ආචාර්යවරුන් අතරින් 80% ඉක්‌මවන ඉතිරි පිරිස තමන් කවර පක්‍ෂයකට සහයෝගය දක්‌වන්නේ ද යන්න ළඟම සිටින මිතුරාටවත් දැන ගත නොහැකි ආකාරයට හැසිරෙන්නෝ වෙති.
කෙසේ වුවද, එම පිරිස පක්‍ෂවලට බෙදී සිටින්නේ රටේ ජනතාව පක්‍ෂවලට බෙදී ඇති අනුපාතයට අනුවම බව සිතිය හැක. මඳ හෝ වෙනසක් සිදුවුවහොත් ඒ කිසිදු පක්‍ෂයකට සහයෝගය නොදක්‌වන පිරිස තරමක් වැඩිවීම නිසා පමණි. දේශපාලනයේ ප්‍රසිද්ධියේ නියෑලෙන 10 - 15% පමණ ආචාර්යවරුන්ට ඉතිරි ආචාර්යවරුන්ගේ දේශපාලන මතය දැන ගැනීමටවත් නොහැකි තත්ත්වයක් තුළ කිසියම් දේශපාලන අරමුණක් වෙනුවෙන් ඔවුන් රූකඩ බවට පත්කර ගත හැකි යෑයි යමකු සිතන්නේ නම් අඥානයකු පමණි.
ඒ හැරුණු විට පසුගිය මැතිවරණයේදී ප්‍රසිද්ධියේ රජයට සහයෝගය දුන් ආචාර්යවරුන් පවා වත්මන් අරගලයේ ඉදිරිපසින්ම සිටින බව දැන් රජය ද දනී. මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ විට විෂයභාර අමාත්‍යවරයා දුන් පිළිතුර වුයේ "පඩි වැඩි වෙනවානම් කවුද අකමැති" වශයෙනි. එකී ආචාර්යවරුන් මෙම අරගලයට සහාය දීම එලෙස මුදලට ලඝූ කොට සැලකීම ද පොට වරද්දා ගැනීමක් බව සඳහන් කළ යුතුමය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අති බහුතරයක් සිත් පිත් නැති ලෙස මුදල් පසුපස හඹා යන්නවුන් නොවන වගට උදාහරණ කිහිපයක් මෙහිදී සඳහන් කළ යුතුය. මේ රජය විසින් මීට වසර කිහිපයකට පෙර ආචාර්යවරුන්ට ගෙවූ වැටුපෙන් 5% කපා හැරිය විටදීවත් ඔවුන් පාරට බැස්‌සේ නැත. තවද රජය විසින් වසරකට වෙන් කරනු ලබන සුළු මුදලෙන් කෙසේ හෝ සරසවි පවත්වා ගෙනයා යුතු වීමේ අභියෝගයට සහාය දෙනු වස් විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන් කෙරේම ස්‌වයංවාරණයක් පනවාගෙන විශ්වවිද්‍යාලයෙන් තමන්ට නීත්‍යානුකූලව ලබා ගත හැකි දීමනා පවා කැප කරන අවස්‌ථා එමටය. උදාහරණයක් ලෙස විනය පාලක හා නියෝජ්‍ය විනය පාලක යන තනතුරු වෙනුවෙන් වැටුපෙන් 25% ක හා 15% ක අතිරේක දීමනා ලබා ගත හැකිව තිබියදීත් රජයේ ඉල්ලීමකින් තොරව එය හතර ගුණයකින් අඩුකර ගෙන හුදු නාමික දීමනාවක් පමණක් ලබා ගනී.
තවද ආචාර්යවරු පීඨාධිපති බඳු තනතුරුවලට පත් වූ විට ඉගැන්වීමේ කටයුතුවලින් බැහැර වීමට ඔවුනට අයිතිය ඇතත් එසේ කළහොත් තමන් කළ දේශන සඳහා මුදල් ගෙවා බාහිර දේශකයන් ගෙන්වන්නට සිදුවන බැවින් එම තනතුරේ රාජකාරි සමඟම ඉගැන්වීමේ කටයුතු ද කරති. ඇතැම් විශ්වවිද්‍යාලවල උපකුලපති හා නියෝජ්‍ය උපකුලපති පවා එසේ ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙති. රාජකාරි නිවාඩු ලබා විදේශගත වන අවස්‌ථාවලදී ගුවන් තොටුපළට යැමට හා ඒමට විශ්වවිද්‍යාලයේ වාහන යොදා ගැනීsම සඳහා රජයේ චක්‍රලේඛ අනුව නීතියෙන් ඉඩකඩ තිබියදීත් තමන්ගේ වුවමනාවට අභ්‍යන්තර චක්‍රලේඛ මගින් ඒවාට වාරණයක් පනවාගෙන තිබීම තවත් උදාහරණයක් වේ.
මේ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරු වත්මන් වෘත්තීය අරගලයට සහාය දෙන්නේ තමන්ගේ බඩගෝස්‌තරයම මුල් තැනට ගෙන නොවන බවත්, එසේම එය රාජ්‍ය විරෝධී මෙහෙයුමක් නොවන බවත් පැහැදිලිය.
මීළඟට මෙය විදේශ බලවේගවල හා රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයක් දැයි සොයා බැලිය යුතුය. ආචාර්යවරුන් අතරින් කිහිපදෙනෙකු යම් යම් කටයුතුවලදී රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධ වී සිටිය හැකි බව සැබෑවකි. ආචාර්යවරු විදේශ ආයතන සමඟ කටයුතු කරන බව ද නොරහසකි. ලෝකය විශ්ව ගම්මානයක් වී ඇති අද දවසේ එවැනි සම්බන්ධතා ප්‍රතික්‍ෂේප කොට ඉදිරියට යා නොහැකි බැවිනි. එහෙත් එපමණකින්ම ආචාර්යවරුන්ගේ වත්මන් වෘත්තීය අරගලය පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබේ යෑයි කීම පදනම් විරහිත ය. ඒ සඳහා ඒ පිළිබඳව ගැඹුරින් විමසා බැලීම කළ යුතුය. භෝගයක් වැඩිදියුණු කිරිමට විදේශ ආධාර ලබාදීම පිටුපස එවැනි කුමන්ත්‍රණයක් ඇතැයි සිතිය හැක්‌කේ වැඩිදියුණු කළ භෝගයට පළිබෝධ නාශක හා පොහොර අත්‍යවශ්‍ය වීම හමුවේ අපට ඒවා ඔවුන්ගෙන් මිලදී ගැනීමට සිදුවන බැවිනි. එමෙන්ම පවුල් සැලසුම් කිරීම ව්‍යාප්ත කිරීමට උදව්දීම ද එවැනි කුමන්ත්‍රණයක් යෑයි සිතීම තර්කානුකූල වන්නේ සිංහලයා සුළු ජාතියක් වීම ඔවුන්ගේ අපේක්‍ෂාව විය හැකි බැවිනි. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වත්මන් අරගලයට ජාත්‍යන්තර බලවේග උදව් කරනු ඇතැයි සිතීමට හේතුවක් තිබේද? මක් නිසාද යත් මෙම අරගලය ජයග්‍රහණය කිරීම තුළ සිදුවන්නේ දක්‍ෂ උපාධිධාරීන් ආචාර්ය මණ්‌ඩලයට බඳවා ගත හැකිවීම හා ඔවුන් මේ රටේ රැඳී සිටීම තහවුරු වී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වඩාත් ශක්‌තිමත් වීමයි. එනම් විශ්වවිද්‍යාල තුළ නිදහස් අධ්‍යාපනය තහවුරු වීමයි. එහෙත් ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දීම අනුමත කරන්නක් නොවේ. ඔවුනට අවශ්‍ය වන්නේ මෙරට නිදහස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නැති කොට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ආයෝජනය කිරීමට විදේශ ආයෝජකයන්ට මඟ පාදා දැනට සේවාවක් ලෙස පවත්වාගෙන යන විශ්වවිද්‍යාල අධ්‍යාපනය වාණිජ ව්‍යාපාරයක් බවට පත් කර ගෙන මඩිය තර කර ගැනීම නොවේද? අනෙක් අතට විදේශ බලවේග කැමැති වනු ඇත්තේ නිදහස් හා සාර්ථක විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් තුළින් අපේ රට දැනුමේ කේන්ද්‍රස්‌ථානයක් වී එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රට දැනුම් ආර්ථිකයක් හරහා පොහොසත් වනු දැකීමද? නැතහොත් අපේ රට හුදු ශ්‍රමිකයන් පමණක් සිටින රටක් හා ඔවුන්ගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළක් වන රටක් වනු දැකීම ද? මේ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ඇති කිරීමට නොව කවර ආකාරයකින් හෝ එය මර්දනය කිරීමට ක්‍රියාකරන බලවේග ඇතොත් ඒ සමඟ ජාත්‍යන්තරයට ගැට ගැසී තිබේ දැයි සොයා බැලීම නම් අත්‍යවශ්‍ය බව මෙයින් පෙනී යනු ඇත.
මේ අනුව අවසාන වශයෙන් ඉතිරිව ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය අඟේ ඉඳන් කණ කන බල ලෝභීන්ගේ හෝ මිතුරු බසින් සිටින සතුරන්ගේ ෙද්‍රdaහී හා අමනකම්වල ප්‍රතිඵලයක් දැයි සොයා බැලීමයි. ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ක්‍රම ක්‍රමයෙන් වෘත්තීය අරගලයක් දක්‌වා විකාශය වූ ආකාරය සියුම්ව පරීක්‍ෂා කිරීමෙන් මීට පිළිතුරු සොයා ගැනීම එතරම් අපහසු නොවේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විශ්වවිද්‍යාලවලට දක්‍ෂ උපාධිධාරීන් බඳවා ගැනීමට හා ඔවුන් රඳවා ගැනීමට හැකි ආකර්ශණීය වැටුපක් ඉල්ලමින් රජය සමඟ සාකච්ඡා ආරම්භ කළේ මීට වසර හතරකට පෙරය. එම සාකච්ඡා තුළදී රජය විසින් පත් කළ කමිටු මගින්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප (2008 වසරේ ජීවන වියදම අනුව) රුපියල් 168,000 ක් විය යුතු යෑයි නිර්දේශ කළ නිසාත්, සමස්‌ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කොට ඒ වැටුප ගෙවන තෙක් ආචාර්යවරුන්ට 50% ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමන් නිර්දේශ කළ නිසාත්, එකී සාකච්ඡා ඉතා සුහද ලෙස ඉදිරියට පැමිණියේය. බැසිල් රාජපක්‍ෂ අමාත්‍යතුමන්ගේ ඒ උපදෙස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නොතකා හැරිය ද ආචාර්යවරු උරණ නොවී ඉවසා සිටියේ පසුගිය අයවැයෙන් විසඳුමක් ලැබේය යන බලාපොරොත්තුවෙනි. එහිදී 11% ක වැටුප් වැඩිවීමක් සමග අතිරේකව 25% ක පර්යේෂණ දීමනාවක් ද නිර්දේශ කෙරුණු අතර, අය වැය කතාවේ ඇතුළත් වූ කරුණු අනුව ආචාර්යවරුන්ට පෙනී ගියේ 25% ක පර්යේෂණ දීමනාව මුලින් කොන්දේසි විරහිතව ලබා දී වසර දෙකකට පසු පර්යේෂණවල ප්‍රගතිය අනුව ඉදිරියට ලබා දීම තීරණය කෙරෙන බවයි. ඔවුන් එය එකවරම ප්‍රතික්‍ෂේප කළේ නැත. මෙතෙක් කල් පැමිණි මඟෙහි කිසියම් අස්‌වැසිල්ලක් ලෙස ඔවුහු එය දුටුහ. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කෙරුණු පසු ආචාර්යවරුන්ට ප්‍රමාණවත් වැටුප් ලබා දෙන්නේ යෑයි කියෑවුණු බැවින් දැනට එයින් සෑහීමකට පත්වීමට ඔවුන් අප්‍රකාශිත තීරණයක් ගෙන සිටියහ.
ඒ අතර තමන්ට අදාළ අය වැය යෝජනා සම්බන්ධයෙන් රජයට ස්‌තුති කර යවන්නට පවා ඇතැම් ආචාර්යවරු පෙළඹුනහ. එහෙත් තත්ත්වය නොපිට පෙරැළීම ආරම්භ වූයේ ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ අය වැය යෝජනා අදාළ බලධාරීන් විසින් මාස කිහිපයකට පසු ක්‍රියාත්මක කරන්නට යැමේදී ය. ආචාර්යවරු බලාපොරොත්තු නොවූ පරිදි 25% ක පර්යේෂණ දීමනාව ගෙවීම සඳහා මේ බලධාරීන් මුලදීම කොන්දේසි පැනවූහ. එයින් ආචාර්යවරු නොසන්සුන් වූහ. මේ නිසා තමන්ව ගොනාට අන්දවනු ලැබුවේ දැයි ඇතැම් ආචාර්යවරු ප්‍රශ්න කරන්නට වූහ. එතැන් සිට අය වැය යෝජනා දෙස මෙන්ම රජය මෑත කාලයේ තමන්ට සලකා ඇති ආකාරය දෙස ද නොපහන් සිතින් බලන්නට ඔවුන් පටන් ගත්හ. පාසල්වලට දරුවන් ඇතුළු කිරීමේදී තමන්ට තිබූ විශේෂ වරප්‍රසාද (පාසල් විෂය නිර්දේශ සැකසීම ප්‍රශ්න පත්‍ර සැකසීම හා පිළියෙළ කිරීම පිළිතුරු පත් පරීක්‍ෂා කිරීම ආදියේදීත් වෙනත් විවිධ අවස්‌ථාවලදීත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාසල් අධ්‍යාපනයේ උන්නතියට දක්‌වන දායකත්වය හේතු කොට ගෙන එබඳු වරප්‍රසාදයක් දීම සාධාරණීකරණය කොට තිබිණි) මේ වසරේ සිට අහිමි කිරීම කෙරෙහිත්, පසුගිය කාලය තුළ තම වැටුපෙන් 5% කපා හැරීම කෙරෙහිත් ඔවුන්ගේ අවධානය යොමුවිය. කවර හේතුවක් නිසා කලක පටන් තමන් නොතකා හැරීමකට බඳුන් වී ඇති බව ඔවුනට පෙනෙන්නට විය. ඒ අතර එම සැකය තහවුරු වූ වඩාම වැදගත් කෙනෙහිලිකමක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවිය. එනම් තීරුබදු සහනය සහිත වාහන ලබා ගැනීමට එතෙක් අවශ්‍යව තිබූ වසර පහක සේවා කාලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පමණක් පසුගිය අය වැයෙන් වසර 12 ක කාලයක් දක්‌වා දීර්ඝ කර තිබීමයි. එය පැහැදිලි කළ හැකි කිසිදු හේතුවක් ආචාර්යවරුනට සොයා ගත නොහැකි විය.
මීට කෙටි කලකට පෙර වාහන ගෙන්වීමේදී අය කළ බදු පොදුවේ මුළු රටටම අඩු කරන ලද්දේ ඒ වෙනුවෙන් කිසිවෙකුගේ ඉල්ලීමක් නොතිබුණු තත්ත්වයක් යටතේ ය. ඒ නිසා ජනතාව එය අවබෝධ කර ගත්තේ වාහන මිලදී ගැනීම වැඩි කොට එමගින් රජයට වැඩි ආදායමක් ලබා ගැනීමට ගත් පියවරක් ලෙසිනි. ඒ අනුව රාජ්‍ය හා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල නිලධාරීන් වෙනුවෙන් එම බද්ද තවත් ස්‌වල්පයක් අඩුq කිරීම රජයට විශාල බරක් ලෙස දැකිය නොහැකිය. අනෙක් අතට වසර පහක සේවා අවශ්‍යතාව විශ්වවිද්‍යාල ආචාර්යවරු සඳහා පමණක් වසර 12 දක්‌වා දිගු කිරීමෙන් බදු සහනය සහිත වාහන ලබා ගත නොහැකි වන ආචාර්යවරු ගණන 500 කට වැඩි නොවේ. ඒ නිසා එමගින් ආණ්‌ඩුවට යම් ප්‍රයෝජනයක් තිබුණත්, එය නොගිණිය හැකි තරම් කුඩාය. මේ අනුව ආචාර්යවරුන්ගේ අප්‍රකාශිත නිගමනය වූයේ කවුරුන් හෝ මෙම යෝජනා අය වැයට ඇතුළු කරන ලද්දේ කවර හේතුවක් නිසා හෝ තමන් කෙරේ ඇති ද්වේශයක් නිසා වන බවය. නැතහොත් ආචාර්යවරුන්ට විශ්වවිද්‍යාල රැකියා එපා කරවා විශ්වවිද්‍යාල මුඩු බිම් බවට පත් කෙරෙන වැඩපිළිවෙළක තවත් එක් පියවරක් ලෙස බවය. එබැවින් මේ යෝජනාව කාගේ වුවමනාවට කවර හේතුවක් නිසා අය වැයට ඇතුළත් වූයේ දැයි විමසා බැලීම වටී.
සංකේත වර්ජනයක් සිදු කොට එයින් අනතුරුව අඛණ්‌ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයනට එළඹෙන්නට ඔවුන් තීරණය කළේ ඉන් අනතුරුවය. දැන් එය උපරිමයකට පැමිණ ඇත. දෙස් විදෙස් සම්භාවනයට පාත්‍ර වූ ජනාධිපති උපදේශක තනතුරු ද දැරූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් ද ඇතුළුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට ඉතිහාසයේ පළමු වරට විරෝධතා පුවරු රැගෙන පාරට බැස පෙළපාලියේ යති.
මෙම අරගලය ආරම්භ වීමෙන් පසුව පවා ඇතැම් බලධාරීන්ගේ ක්‍රියාකලාපය තුළ තදබල සැක ඇතිවන තැන් ගැන අසන්නට ලැබේ. මෑත කාලයේ මෙරට සිදු වූ බොහෝ වෘත්තීය අරගලවලදී අදාළ වෘත්තීය සමිති ජනාධිපතිතුමා මුණ ගැසෙන්නේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අවසාන සාකච්ඡාව ලෙසය. එහිදී ජනාධිපතිතුමා ප්‍රශ්න විසඳයි. එවිට එක් එක් පුද්ගලයා තුළ රජය කෙරෙහි තිබූ ප්‍රසාදය බිඳකුදු අඩු නොවී සියල්ලෝ සතුටින් විසිර යති. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවට ගියේ එවැනි බලාපොරොත්තු ඇතිවය. අදාළ බලධාරීන් ද ඒ දේ එලෙසින්ම සිදු වෙතැයි සැක පහළ කළහ. එහෙත් බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාගේ පෙර කී උපදෙස් නොතකා හැරීමට මුල් වූ එක් බලධාරියෙක් ම එම සාකච්ඡාවට විනාඩි කිහිපයකට පෙර කැලෑ පත්‍රයක් ද රැගෙන කඩි මුඩියේ ජනාධිපතිතුමන් හමුවට ගොස් එතුමන්ගේ සිත දූෂ්‍ය කළ බවටත් ඒ නිසාම එම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවටත් දූෂ්‍යමාන ආරංචියක් පැතිරේ. එවැන්නක් සිදු වී ඇති නම් ඒ පිළිබඳව විමසා බැලීම වටී.
මේ සියල්ල විචාරශීලීව විමසන කල්හි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය උත්තේජනය කිරීමට හා එයින් පසු එය ඉක්‌මනින් විසඳෙන මාර්ග ඇහිරීමට වගකිව යුතු වන්නේ කවුරුන්දැයි සිතා ගත හැකි වනු ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ජයග්‍රහණයකින් තොරව කෙළවර වීම ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල අරමුණුවලට පාර කැපීමක් ද වන බැවින් ඔවුන් හා එම විදේශ බලවේග අතර සම්බන්ධයක් තිබේද යන්නත් සෙවීම වටී.
මීගහතැන්නේ ජයතිස්‌ස
උද්භිද විද්‍යා මහාචාර්ය