දිවයින 16/07/2011
විශ්වවිද්‍යාලය යනු හුදෙක්‌ම උපාධිධාරීන් බිහි කරන ස්‌ථානයක් නොවේ. එය රටකට අවශ්‍ය දැනුම, තාක්‌ෂණය හා ප්‍රතිපත්ති සකස් කරන බුද්ධිමය කේන්ද්‍රස්‌ථානයක් වේ. එමෙන්ම විශ්වවිද්‍යාලය අප සමාජයේ තිබෙන ප්‍රශ්න අධ්‍යයනය කිරීමටත්, ඒවා විසඳීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමටත්, සමාජය නිවැරදි මාර්ගයේ යොමු කිරීමටත් අවශ්‍ය වූ සමාජ කථිකාවන් හා මතවාද ඇති කිරීමට කටයුතු කරමින් සිටියි. මෙවන් ආකාරයෙන් දැනුම කේන්ද්‍ර කොට ගත් ශාස්‌ත්‍රීය කටයුත්තකට විචාර බුද්ධියකින් යුක්‌ත ආචාර්යවරුන් ද ශිෂ්‍ය ප්‍රජාවක් ද අවශ්‍ය වේ. ඔවුන්ගේ ශාස්‌ත්‍රීය කටයුතු කරගෙන යැමට ඔවුන්ට ප්‍රමාණවත් ශාස්‌ත්‍රීය නිදහස හා භෞතික පහසුකම් තිබිය යුතුයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගුණාත්මක ශාස්‌ත්‍රීය හෝ අධ්‍යාපන කටයුතු කෙරෙහි ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ භෞතික ගැටලු බෙහෙවින් බලපානු ඇත. ඕනෑම පුද්ගලයකුගේ දෛනික, භෞතික ගැටලු විසඳීමකින් තොරව ඔවුන් කරන වැඩවල ඉහළ ගුණාත්මක බවක් බලාපොරොත්තු විය නොහැක. සරසවි ආචාර්යවරුන්ගේ බහුතරය සාමාන්‍ය හෝ මධ්‍යම පන්ති නියෝජනය කරන සමාජ ආර්ථික පිරිසකට අයත්වේ. සංකේත පරිභෝජනයක් මුල් කොට ගත් නූතන ජීවන රටාව හා සමාජ තත්ත්වය ආශ්‍රිත සමාජ ආර්ථික අභියෝග තරුණ සරසවි ආචාර්යවරුන්ට සුවිශේෂ වූ තවත් අභියෝගයක් වන්නේය. උදාහරණයක් දක්‌වතොත් බොහෝ තරුණ සරසවි ආචාර්යවරුන්ට තමන්ටම අයිති නිවහනක් නැත. එමෙන්ම අවසන් වරට දෙනු ලැබූ රථවාහන බලපත්‍රයෙන් බොහෝ ආචාර්යවරුන් ණය මුදලක් මගින් මිලදී ගත්තේ අඩු මුදලකට ඇති ඉන්දියාවේ නිෂ්පාදිත කාර් රථයකි. මෙමගින් අපට පෙන්වා දෙනු ලබන්නේ සරසවි ආචාර්යවරුන්ගේ ආර්ථික පසුබිමයි. මීට අමතරව සියලුම සරසවි ආචාර්යවරුන්ට නිරන්තරයෙන්ම සමාජයක් සමග සමීපව කටයුතු කරන්නට සිදුවෙන බැවින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ පෞද්ගලිකව නොයෙකුත් උත්සව, දේශන හා වෙනත් සුභ සාධන කටයුතුවල නිරත වීමට සිදුවේ . මේවාද ඔවුන් හමුවේ ඇති තවත් එක්‌තරා අභියෝගයක් වේ. පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සිටින හා නාගරික සමාජයක ජීවත් වන ආචාර්යවරුන්ගේ ආර්ථික තත්ත්වය තව තවත් උග්‍රවීම දැක ගත හැකිවේ. මේ සියලු තත්ත්වයන් යටතේ සරසවි ආචාර්යවරුන්ට ඔවුන්ගේ ශාස්‌ත්‍රීය කටයුතුවල ගුණාත්මක බව වැඩි කර ගන්නට අවශ්‍ය පොතපත මිලදී ගැනීම, ලිපි ලේඛන පළ කිරීම හා සම්මන්ත්‍රණවලට සහභාගිවීම ඔවුන් තුළ ආර්ථික ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරනු ලබයි.
පිළිගත් විශ්වවිද්‍යාලයකින් පළමු උපාධියකින් ඉහළම සාමාර්ථයකින් බඳවා ගනු ලබන ආචාර්යවරුන්ට විශ්ව විද්‍යාලයේ ශාස්‌ත්‍රීය කටයුතු අඛණ්‌ඩව කරගෙන යැමට පශ්චාත් උපාධියක් හෝ දෙකක් අනිවාර්යයෙන් ලබාගත යුතුවේ. මෙතරම් සුදුසුකම් හා අත්දැකීම් ප්‍රමාණයක් ලබාගත් සරසවි ආචාර්යවරුන්ගේ මාසික වැටුප අප රටේ අනෙකුත් ඉහළ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට හා පෞද්ගලික අංශයට සාපේක්‍ෂව කනගාටුදායක තත්ත්වයක පවතී. වර්තමාන සරසවි ආචාර්යවරුන්ගේ සාමාන්‍ය වැටුප රු. 50000/} ක් පමණ වීම මෙයට හොඳම නිදසුනයි.
මෙවැනි අවම මාසික වැටුපකින් ඔවුන් හමුවේ ඇති පුළුල් ශාස්‌ත්‍රීය වගකීම් හා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග ජයගත හැකිද යන සමාජයේ සියලු දෙනා සිතා බැලිය යුතුයි.
මේ ආකාරයෙන් ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බොහෝ සරසවි ආචාර්යවරු ඔවුන්ගේ ආර්ථික අභියෝග ජය ගැනීමට ශාස්‌ත්‍රීය නොවන ක්‍රමෝපාය පසුපස ගමන් කරන්නට පෙළඹී ඇත. ඒ සඳහා සමහර ආචාර්යවරු කෙටි මාර්ගයෙන් ඉහළ තනතුරු ලබාගෙන භෞතික වරප්‍රසාද භුක්‌ති විඳීමට දේශපාලන මාර්ගයද තවත් සමහර අය තමන්ට නොගැලපෙන පර්යේෂණ ඉගැන්වීම් හා විශේෂඥ උපදේශන සේවය යනාදී කටයුතුවල යෙදීමේ ක්‍රම ද තෝරා ගැනීම කනගාටුදායක කරුණකි. සරසවි ආචාර්යවරුන්ට යහපත් වැටුපක් ලබාදීම මගින් ඔවුන්ට සතුටුදායක පෞද්ගලික ජීවිතයක්, නිදහස් දේශපාලන මතවාදයක් හා දැනුම සම්පාදනය කිරීමට අවශ්‍ය ගුණාත්මක පසුබිමක් ලබාදීමට හැකිය.
වර්තමාන සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයේ ඇතුළාන්තය ලාංකීය සිවිල් සමාජය විසින් නිසි ආකාරයෙන් අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. ලාංකීය වෘත්තීය සමිති සංස්‌කෘතිය තුළ නොයෙක් බෙදීම් හා ගැටුම් තිබෙන මෙම යුගයේ සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය සුවිශේෂ වෙනසක් සනිටුහන් කර ඇත. එනම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තුළ ඉතා පුළුල් හා වෙනස් වූ සමාජ දේශපාලන මතවාද දක්‌නට ලැබුණත් ඒවා එක මතවාදයක් හා සාමුහික ක්‍රියාවක් ලෙස පවත්වා ගනිමින් ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගමන් කරමින් තිබේ. සරසවි ආචාර්යවරුන්ගේ මෙම අරගලය ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය අභිබවා ගිය පොදුවේ අප රටේ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු මුල් කොට ගත් සටනක් බවට පත්ව ඇත. එමෙන්ම ආචාර්යවරුන්ගේ මෙම වෘත්තීය අරගලය අක්‍රීයව පවතින අපගේ සිවිල් සමාජය යළිත් ක්‍රියාකාරී වීමටත් සිවිල් සමාජයට ආදර්ශයක් ලබාදීමටත් තරම් ප්‍රබල වී ඇත. මෙම තත්ත්වය දේශපාලනඥයන්ට ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇත. මෙයට කදිම නිදසුනක් වන්නේ සරසවි ආචාර්යවරුන් විසින් ජුනි මස 21 වෙනි දින කොළඹ දී පවත්වන ලද අතිසාර්ථක සාමකාමී පෙළපාලිය මේ රටේ මහජනයාට නොපෙනෙන ආකාරයෙන් මාධ්‍ය වලින් වසන් කර තැබීමට කවුරුන් හෝ කටයුතු කරනු ලැබේ යෑයි සිතන්නට ඉඩ තිබීමයි.
ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එක් එක් විශ්ව විද්‍යාල වලට සුවිශේෂ වූ උප සංස්‌කෘතීන් තිබීම විශේෂ දෙයකි. ඒවා ඒ ඒ විශ්ව විද්‍යාල පිහිටා තිබෙන භෞතික හා සමාජ පරිසරයට මෙන්ම ඉතිහාසයට අනුව වෙනස්‌වේ. නිදසුනක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අන් සියලු විශ්ව විද්‍යාලවලට වඩා වෙනස් වූ උප සංස්‌කෘතියක් දැක ගත හැකිවේ. එහි ආචාර්යවරුන් මෙන්ම ශිෂ්‍යයන් අතර ද සමීප අන්තර් සම්බන්ධතාවක් ඇති වන ආකාරයේ පසුබිමක් හා උප සංස්‌කෘතියක් පවතියි. ඒ නිසාම ඔවුන් තුළ සාමුහික විCඳ්C¹ණය හා ක්‍රියාකාරකම් ඉහළ මට්‌ටමක දැක ගත හැකිවේ. මේ තත්ත්වය මීට අඩු වැඩි වශයෙන් අනෙකුත් විශ්වවිද්‍යාල වන රුහුණ, ජයවර්ධනපුර හා යාපනය වැනි විශ්වවිද්‍යාලවලින් දැක ගත හැකිය. නමුත් රටේ අග නගරයට ආසන්නව පිහිටා තිබෙන කොළඹ සහ මොරටුව වැනි විශ්වවිද්‍යාලවල තත්ත්වය ඉහත සඳහන් කළ විශ්වවිද්‍යාලවලට වඩා මුළුමනින්ම වෙනස්‌ය. කොළඹ සහ මොරටුව නාගරික උපසංස්‌කෘතියක් පවතින විශ්වවිද්‍යාල වන බැවින් ඒවා හි සාමුහික විCඳ්Cඳාණය හා සාමුහික ක්‍රියාවන් ඇති වන්නේ වෙනස් ආකාරයෙන්ය. මේ හේතුවෙන් සියලු සරසවිවල ආචාර්යවරුන් අතර එක සමාන ආකාරයෙන් උපසංස්‌කෘතියක් හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් දක්‌නට නොලැබේ. නමුත් ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය මගින් මේ සියලු උපසංස්‌කෘතික වෙනස්‌කම් පසෙකලා ඔවුන් සියල්ලටම එක සටන් පාඨයක් යටතේ කටයුතු කිරීමට ලැබීම විශ්වවිද්‍යාල පද්ධතිය ලැබූ සැබෑ ජයග්‍රහණයකි.
එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු ජාතික වශයෙන් වැදගත් දේශපාලන මතවාද සමග සමීපව කටයුතු කරන බැවින් හා ඔවුන් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලවල ගුරු කුලයන් අනුවද විවිධ අදහස් හා මතවාද දරමින් සිටිති. සමහර විට සරසවි ආචාර්යවරුන් පෞද්ගලිකව වාමාංශික මෙන් දක්‍ෂිණාංශික දේශපාලන අදහස් දරන අය වේ. නමුත් මේ සියලු මතවාද හා දේශපාලන මතවාද තාවකාලිකව ඉවත් කොට සියලු දෙනා සාමුහිකව කටයුතු කිරීම මෙහි තිබෙන තවත් විජයග්‍රහණයකි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකිනෙකාට වෙනස් වූ විෂය පථයන් නියෝජනය කරන අය වේ. වෛද්‍ය ඉංජිනේරු, කෘෂි නීතිය, කළමණාකරණය, තොරතුරු තාක්‌ෂණය, මානව ශාස්‌ත්‍ර, සමාජීය විද්‍යාවන් හා සෞන්දර්ය යන ආකාරයෙන් වෙනස් වූ විෂය පථයන් තුළ සිටිමින් මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්‌තිමත් වන ආකාරයෙන් සියලුම බුද්ධිමය පසුබිම් වලින් මෙම වෘත්තීය සටන ඉදිරියට ගෙන ගොස් තිබේ. එම නිසා සරසවි ආචාර්යවරුන්ගේ සාමුහික වෘත්තීය ක්‍රියාව සැබවින්ම බහු විශ්ව විද්‍යාල සංස්‌කෘතිය හා අන්තර් විෂයීය අනන්‍යතාවයෙන් යුක්‌තව කටයුතු කරන සැබෑ ශාස්‌ත්‍රීය පෙරමුණක් ලෙස හඳුන්වා දෙන්නට හැකිය.
මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිසිදු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ භේදයකින් තොරව සාමුහිකව කටයුතු කිරීම අනාගත ක්‍රියාකාරීන්ට යහපත් ආදර්ශයක් වේ. එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ සමහර මහාචාර්යවරුන් නුදුරු අනාගතයේ විශ්‍රාම යැමට නියමිතව තිබුණත් තරුණ ආචාර්යවරුන්ගේ වැටුප් මුල් කර ගත් අරගලය උදෙසා නායකත්වය ගෙන කටයුතු කිරීම සැබවින්ම අගය කළ යුතුය. දීර්ඝ කාලයකට පසු සරසවි ආචාර්යවරුන් අතර ඇති වී තිබෙන මෙම සාමුහික විCඳ්C¹ණය හා ක්‍රියාකාරීත්වය ඉතා යහපත් එකක් වන අතර එය තවදුරටත් විශ්වවිද්‍යාල පද්ධති තුළ පවත්වා ගෙන යැම බෙහෙවින් වැදගත්වේ. මෙමගින් ලාංකීය විශ්වවිද්‍යාල තුළ යහපත් ශාස්‌ත්‍රීය ප්‍රජාවක් ඇතිකර ගැනීමටත් නූතන සමාජයේ ගැටලු විසඳීමට අවශ්‍ය සමාජ, ආර්ථික, දේශපාලන හා විද්‍යාත්මක විසඳුම් සෙවීමටත් ප්‍රයෝජනවත්වය. මෙම සරසවි සාමුහික ක්‍රියාමාර්ගය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සාමාජිකයන් නොවන අය ඇතුළුව විශ්වවිද්‍යාලයේ සියලු පාර්ශ්වයන්ට තව තවත් ශක්‌තිමත්ව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන්නට වේදිකාවක් සකස් කොට ඇත.
අවසාන වශයෙන් මා සඳහන් කරන්නට කැමති වන්නේ මෙම සරසවි ආචාර්යවරුන්ගේ සාමුහික ක්‍රියාව වැටුප් ප්‍රශ්නයෙන් අවසන් නොවිය යුතුය යන්නය. සරසවි ආචාර්යවරුන් මෙම සාමුහික ශක්‌තියෙන් සරසවි තුළ සිදුවෙන පරිපාලන අකටයුතුකම් ශාස්‌ත්‍රීය වගකීම් පැහැර හැරීම් හා ආචාර්යවරුන්ගේ අඩුපාඩු යන සියලු දේ පිළිබඳ විවේචනාත්මකව සොයා බැලිය යුතුය. එමෙන්ම සරසවි ආචාර්යවරුන්ගේ ගැටලුවලදී පමණක් පොදු මහජනයාගේ සහයෝගය නොපතා හැකිතාක් දුරට සමාජයේ සාමාන්‍ය මහජනතාව සමග සියලු අවස්‌ථාවන්වල සමීපව කටයුතු කිරීම ඉතා වැදගත්වේ.
සරසවි ආචාර්යවරුන් ඔවුන්ගේ මෙම සාමුහිකත්වය තුළින් ශිෂ්‍ය ප්‍රජාව තුළ නිසි විනයක් ඇති කොට ඔවුන් නිවැරදි ශාස්‌ත්‍රීය මාර්ගයේ ගමන් කිරීමට සැලැස්‌විය යුතුය. එමෙන්ම සමාජය තුළ සිදුවෙන දේ පිළිබඳ ඉතා සංවේදීව විචාරයෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්නට පොදු ජනතාව සමග සමීපව කටයුතු කළ යුතුවේ. පොදු ජනතාවගේ ගැටලු හා අවශ්‍යතාවන්වලදී ඔවුන්ට උපකාරී වන්නට සරසවි ආචාර්යවරුන් හැකිතාක් දුරට කටයුතු කළ යුතුයි. එවිට සරසවි ආචාර්යවරුන්ට ප්‍රජාවක් ලෙස කිසිදා සමාජය තුළ හුදකලා නොවී දේශපාලන බලවතුන්ට යටත් නොවී නිදහස් අධ්‍යාපනය හා අපේ රටේ නිවැරදි සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්නට අවස්‌ථාව ලැබෙනු ඇත.
මොහමඩ් මහීෂ්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජ විද්‍යා අධ්‍යයන අංශය
කොළඹ විශ්වවිද්‍යාලය