If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, July 14, 2011

කොළඹ විශ්වවිද්‍යාලයට ඉන්දියානු අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌

දිවයින 14/07/2011

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්‌ කාර්යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය.

අවබෝධතා ගිවිසුමට අනුව මෙම මධ්‍යස්‌ථානය ස්‌ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 56.5 ක ප්‍රදානයක්‌ ලබාදීමට ද අදාළ ශාස්‌ත්‍රීය සහ පර්යේෂණ ආධාර සපයා දීමට ද ඉන්දියානු රජය එකඟ වේ. ඒ අනුව අධ්‍යයන මධ්‍යස්‌ථානය ස්‌ථාපිත කිරීමටත්, එහි පුස්‌තකාලයක්‌ සහ තොරතුරු තාක්‌ෂණය මත පදනම් වූ සම්පත් මධ්‍යස්‌ථානයක්‌ ඉදි කිරීමටත් ඉන්දියානු රජය විසින් අරමුදල් සපයනු ඇත. මධ්‍යස්‌ථානය පවත්වා ගැනීම, මහාචාර්ය තනතුරු දෙකක්‌ ඇති කිරීම, ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සිසුන් සහ ගුරුවරුන් හුවමාරු කරගැනීම යන කටයුතු සඳහා ඉන්දියානු රජය විසින් වාර්ෂික ප්‍රදානයන් කරනු ඇත. කොළඹ විශ්වවිද්‍යාලය විසින් ශාස්‌ත්‍රීය සහ පර්යේෂණ කටයුතු කරගෙන යැම සහ අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම කරනු ඇත.

මෙම අවස්‌ථාවට සහභාගිවෙමින් කතා කළ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දර්ශනයේ ප්‍රබල අංගයක්‌ වන්නේ මෙරට සහ කලාපයේ තරුණයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම බවයි. මෙම මධ්‍යස්‌ථානය ස්‌ථාපනය කිරීම තරුණ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා වන නිවැරැදි පියවරක්‌ බවත්, ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් වෙසෙන ජනතාවන් අතර සම්බන්ධතාව මෙම මධ්‍යස්‌ථානය මගින් වර්ධනය වන බවත්, පොදු ශාස්‌ත්‍රීය සහ සංස්‌කෘතික අත්දැකීම් තුළින් ඔවුන් වඩ වඩාත් ශක්‌තිමත්වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනටමත් පවත්නා ශක්‌තිමත් අධ්‍යාපනික සබඳතා මෙම මධ්‍යස්‌ථානය පිහිටුවීම තුළින් තව දුරටත් ශක්‌තිමත් වනු ඇතැයි තමා විශ්වාස කරන බව මහාචාර්ය හිරිඹුරෙගම මහත්මිය පැවසුවාය.

මහ කොමසාරිස්‌ අශෝක්‌ කේ. කාන්තා මහතා ප්‍රකාශකර සිටියේ මෙම මධ්‍යස්‌ථානය පිහිටුවීම පිළිබඳ යෝජනාව 2010 වසරේ ජුනි මස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය ඉන්දියානු සංචාරය අතරතුර ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන ලද බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ෂානිකා හිරිඹුරේගම හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්‌ අශොක්‌ කේ. කාන්තා යන මහත්ම මහත්මීන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා හමුවේ අදාළ ගිවිසුමට අත්සන් තැබූ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපත sවරු පිරිසක්‌ හා විදේaශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්‌ද මේ අවස්‌ථාවට සහභාගි වූහ.