If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 1, 2011

විදේශ සිසුන් සඳහා දේශීය සිසුන් කප්පාදුව‍ට

රාවය 02/07/2011

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර [Sunday, July 3, 2011]

විශ්වවිද්‍යාල සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ප්‍රතිශතය ඉහළ දැමීමට රජය ගෙන ඇති පියවරත් සමග විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන මෙරට සිසුන් රාශියකට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වීමට නියමිත බැව් වාර්තා වේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වාර්තා කරන පරිදි මෙරට විශ්වවිද්‍යාල සඳහා විදෙස් ශිෂ්‍යයන් බඳවා ගැනීමේ 0.5%ක් වූ ප්‍රතිශතය දස ගුණයකින් හෙවත් 5%ක් ප්‍රතිශතයක් දක්වා වැඩිකර ඇති අතර මේ අනුව විදෙස් ශිෂ්‍යයන් දහසක් බඳවා ගැනීමට නියමිතය.

විදේශ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් විශ්වවිද්‍යාලවලට අලුතින් බඳවා ගැනීමට නියමිත ප්‍රතිශතය සහ පහසුකම් වැඩි දියුණු කර නොමැති අතර දෙමාපියන් පිරිසක් රාවයට ප්‍රකාශ කළේ පසුගිය වසරේ දිස්ත්‍රික් කෝටාව යටතේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීම සඳහා ලැබුණු ප්‍රමාණය මෙවර සමහර දිස්ත්‍රික්කවලදී කප්පාදු කර ඇති බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව 2009 වසරේදී වෛද්‍ය උපාධිය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගත් සිසුන් සංඛ්‍යාව 190ක් වූ අතර එම පීඨය සඳහා මෙවර බඳවා ගැනීමට නියමිත මුළු සිසුන් සංඛ්‍යාව ද 190කි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ගියවර බඳවා ගත් සංඛ්‍යාවත්, මෙවර බඳවා ගන්නා සංඛ්‍යාවත් 195ක් වේ. එසේම රුහුණු විශ්වවිද්‍යාලය සඳහා 140ක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා 150ක්ද, කැලණිය වෛද්‍ය පීඨය තුළ 160ක් ද වශයෙන් බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වසර දෙකේම නොවෙනස්ව පවතී. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය අනුව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට බඳවා ගැනීමට නියමිත විදේශ ශිෂ්‍යයන් සංඛ්‍යාව 60ක් වන අතර එකී පුරප්පාඩු 60 පිරවීමට සිදුවනුයේ මෙරට ශිෂ්‍යයන්ට ලැබීමට නියමිත අවස්ථා අහිමි කිරීම තුළිනි.

දන්ත වෛද්‍ය විද්‍යාව සඳහා 2009 වසරේ බඳවා ගත් සිසුන් සංඛ්‍යාව 81ක් වූ අතර මෙවර බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව 80 දක්වා අඩුවී ඇත. මෙසේ තිබියදී ඒ සඳහා බඳවා ගැනීමට නියමිත විදේශ ශිෂ්‍යයන් සංඛ්‍යාව 5ක් වන අතර ඒ අනුව ගියවරට වඩා දේශීය සිසුන් 6 දෙනෙක්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිවීමට නියමිතව ඇත.

ඉංජිනේරු විද්‍යාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බඳවා ගත් සිසුන් සංඛ්‍යාව 413ක් වූ අතර ඒ සඳහා මෙවර බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව 415ක් වේ. ඉංජිනේරු විද්‍යාව සඳහා පසුගිය වර මොරටුව විශ්වවිද්‍යාලයට බඳවා ගත් සිසුන්ගේ සංඛ්‍යාව 795කි. එසේ නමුත් මෙවර බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව 750 දක්වා 45කින් අඩුවී ඇත. එපමණක් නොව අදාළ උපාධිය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බඳවා ගැනීමට නියමිත විදේශ ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 58ක් වේ.

කළමනාකරණ උපාධිය සඳහා පසුගිය වසරෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බඳවා ගත් ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 897ක් ද මෙවර බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව 885ක් ද බැව් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි. එම උපාධිය සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සඳහා ගියවර සිසුන් 426ක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා 182ක් ද, කැලණිය විශ්වවිද්‍යාලය සඳහා 341ක් ද බඳවා ගත් අතර ඒ සඳහා මෙවර බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව පිළිවෙළින් 420,150 සහ 335ක් දක්වා අඩුවී ඇත. තත්ත්වය මෙසේ තිබියදී කළමනාකරණ උපාධිය සඳහා මෙවර බඳවා ගැනිමට නියමිත විදේශ ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 172ක් වේ.

මේ සම්බන්ධයෙන් රාවය කළ විමසුමකදී විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ධාරිතාව වැඩි කළ නොහැකි බවත්, ඒ සඳහා ප්‍රමාණවත් මුදල් භාණ්ඩාගාරය සතුව නොමැති බවත් පිළිගත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේ දේශීය සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය අඩු නොකර විදේශ සිසුන් බඳවා ගැනීමට පියවර ගන්නා බවයි.

විදේශ ශිෂ්‍යයන්ගෙන් විශාල ප්‍රමාණයක් කොළඹ, පේරාදෙණිය වැනි පහසුකම් ඇති විශ්වවිද්‍යාල තෝරාගනු ඇතැයි අදහස් කළ ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ විදේශ ශිෂ්‍යයන් බඳවා නොගෙන රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරා ගෙනයා නොහැකි බවයි.

බඳවා ගැනීමට නියමිත විදේශ සිසුන් සංඛ්‍යාව හුදෙක් ප්‍රතිශතයක් පමණක් බවත් ඔවුන් පැමිණේද, නොපැමිණේද යන්න නොදන්නා බවත් කී ලේකම්වරයාගෙන් එසේ පැමිණියහොත් කළහැක්කේ කුමක්දැයි අප කළ විමසුමකදී ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට නියමිත මෙරට සිසුන් එක් අයෙක්වත් අඩු නොකර විදේශ සිසුන් බඳවා ගැනීමට හැකිදැයි විශ්වවිද්‍යාල සමග තමන් සාකච්ඡා කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් වාර්ෂිකව අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට එය සමත් වන පිරිස පිරිස එක් ලක්ෂ විසි දහසක් පමණ වන අතර ඉන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීමේ වරප්‍රසාදය හිමිවන්නේ විසි දෙදහසකට පමණි.