If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 9, 2011

දේශීය සිසුන්ගේ අවස්‌ථා කප්පාදු නොකර විදේශීය සිසුන් සරසවිවලට ගන්නවා - උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

දිවයින 09/07/2011

නිලන්ත මදුරාවල

මෙරට විශ්වවිද්‍යාලවලට විදේශීය සිසුන් ඇතුළත් කිරීම සඳහා දේශීය සිසුන්ට ඇති අවස්‌ථාව කිසිදු අයුරකින් කප්පාදු නොකරන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.

විදේශීය සිසුන් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන විට "අපේ දරුවන් යන්නෙ කොහෙදැයි" ඇසීම මෝඩ ප්‍රශ්නයක්‌ යෑයි ද ඒ මහතා කීවේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරේදා (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ය.

"දැනට ඇතුළත් කෙරෙන සියයට දශම පහක්‌ වන විදේශීය සිසුන්ගේ සංඛ්‍යාව සියයට පහක්‌ දක්‌වා වැඩි කිරීමටයි අපි කටයුතු කරන්නේ. මේ පිළිබඳ කැබිනට්‌ තීරණයක්‌ තිබෙනවා. විදේශීය සිසුන් ඇතුළත් කළ විට ඔවුන්ගෙන් ආදායමක්‌ ලැබෙනවා. ඒ ලැබෙන ආදායමින් විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි කළ හැකියි. එවිට අපේ දරුවන් තවත් වැඩිපුර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අවස්‌ථාව ලැබෙනවා" යෑයි ද දිසානායක මහතා සඳහන් කර සිටියේය. මෙම වසරේදී විදේශීය සිසුන් සියයට පහක්‌ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වනු ඇතැයි අපේක්‍ෂා නොකරන බවත් ඉදිරි වසරවලදී එම ප්‍රමාණය සම්පූර්ණ වනු ඇති බවත් කී ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිළිබඳ වෙනත් රටවල් එතරම් දැනුවත් යෑයි තමා විශ්වාස නොකරන බව ද පැවැසීය. විදේශීය සිසුන් සියදෙනකුට ජනධිපති ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙවර තීරණය කළේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයට ගෙන යැමේ උපාය මාර්ගයක්‌ සහ පණිවුඩයක්‌ වශයෙන් යෑයි ද විශ්වවිද්‍යාල හයක්‌ ජාත්‍යන්තර මට්‌ටමට ගෙන ඒම සඳහා විශාල මුදලක්‌ වැය කරමින් මේ වනවිට කටයුතු කරමින් ඇතැයි ද උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා තවදුටත් පැවැසීය.

"අපි අලුත් දේ සොයා යායුතුයි. ඒ සඳහා දැන් වෙලාව ඇවිල්ලා. ධනාත්මක ලෙස සියලු දේවල් දෙස බැලීම අවශ්‍ය" යෑයි ද ඒ මහතා සඳහන් කළේය.

කලා හා ක්‍රීඩා වැනි ක්‍ෂේත්‍රයන්හි ජාත්‍යන්තර මට්‌ටමේ ප්‍රවීණයන් විසිදෙනෙක්‌ පමණ මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර යන මහත්වරු ද මෙහිදී කතා කළහ.