If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, July 7, 2011

ආර්ථික සැලසුම් ගැන පසුවිපරමක අවශ්‍යතාව

දිවයින 07/07/2011

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් නිසි ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කිරීමත්, ඒවා කාර්යක්‌ෂමව ක්‍රියාත්මක කිරීමත් ඒ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ගැන නිරන්තර පසුවිපරමක්‌ තිබීමත් ඉතාමත් වැදගත්ය. ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් අපේ අපේක්‌ෂිත ඉදිරි ඉලක්‌ක ඉටුකර ගත හැකි වනු ඇත්තේ එවිටය. යුද ජයග්‍රහණයෙන් පසු මේ රජය කීවේ "අපි ආර්ථික යුද්ධයත් ජය ගන්නවා" කියාය. එහෙත් ආර්ථික යුද්ධය ජයගැනීම සඳහා මේ රජය අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්ති හා සැලසුම් හරිද? ඒවා ප්‍රමාණවත්ද? එම ප්‍රතිපත්ති හා සැලසුම් කාර්යක්‌ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේද? සහ එසේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ ගැන හරිහමන් පසුවිපරමක්‌ තිබේද? අපේ අදහස නම් මේ කාරණා තුන සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන බවයි. ඒ නිසා ආර්ථික යුද්ධය ජයගැනීම සඳහා මේ ආණ්‌ඩුව යන්නේ හරි පාරේද යන කාරණය ගැනත් ආර්ථික සැලසුම් ගැන නිරන්තර පසුවිපරමක අවශ්‍යතාව ගැනත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

"මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" වැඩපිළිවෙළ වත්මන් රජය ක්‍රියාත්මක කරන මහජනතාව විසින් අනුමත කළ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ බව ඇත්තය. එහෙත් එහි ඇත්තේ පුළුල් සංවර්ධන ප්‍රතිපත්ති රාමුව මිස එක්‌ එක්‌ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ක්‍රමවේදය නොවේ. උදාහරණයක්‌ ලෙස පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ඇති කරන බව එහි සඳහන්ව තිබුණත් එම පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප ලබා දෙන ක්‍රමවේදය එහි සඳහන්ව නැත. එසේ නම් එකී විශ්‍රාම වැටුප ලබා දෙන ක්‍රමවේදය සකස්‌ කළ යුතුව තිබේ. එහෙත් එය කළ යුතු වන්නේ කෙසේද? තමන් සියල්ල දන්නේ යෑයි සිතා සිටින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ හෝ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඒකපාර්ශ්වීය ලෙස සකක්‌ කරන ක්‍රමවේදය බලෙන් මේ රටේ අතිමහත් බහුතර පෞද්ගලික අංශ සේවක ප්‍රජාව පිට පැටවීමෙන්ද? එසේ කරන්නට යැමෙන් සිදුවූ අවාසනාවන්ත තත්ත්වය මුළු රටම දනී. ඒ නිසා "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" වැඩපිළිවෙලේ සඳහන්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සකස්‌ කළ යුත්තේ සියල්ල තමන් දන්නේ යෑයි සිතන, අන් අයගේ අදහස්‌වලට සවන් දීමට වත් අකැමැති නිලධාරීන් විසින් ඒකපාර්ශ්වීය ලෙස නොවන බව කිව යුතුමය. යුද ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සියලු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ ඒ ආකාරයට නම් පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කිරීමට යැමේදී සිදුකරගත් වරද්දා ගැනීම, (ඇන ගැනීම) රටේ ඉදිරි ආර්ථික සංවර්ධන ගමන සම්බන්ධයෙන්ද සිදුවීම වැළැක්‌විය නොහැකිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න ඉකුත් දිනක "දිවයින"ට කීවේ යුද ජයග්‍රහණයෙන් පසු රටේ ඉදිරි ආර්ථික සැලසුම් ගැන පුළුල් කතිකාවක්‌ සිදුවිය යුතුව තිබුණත් එවැන්නක්‌ සිදු නොවීම කණගාටුවට කාරණයක්‌ බවයි. එසේම කිහිප දෙනකු විසින් දේශපාලනඥයන් මෙහෙයවන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බව පෙනෙන්නට ඇති බවටද මහාචාර්යවරයා චෝදනා කර තිබිණි. පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සැකසීමේදී එම සේවක ප්‍රජාවගෙන්, වෘත්තීය සමිතිවලින් අදහස්‌ විමසීම සහ ඔවුන් සමඟ සංවාදයක්‌ ඇති කරගැනීම අත්‍යවශ්‍ය වන්නා සේම, විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනස්‌කම් සිදුකිරීමේදී සරසවි ආචාර්යවරුන්ගෙන් අදහස්‌ විමසීම ද අත්‍යවශ්‍යය. එවැනි අදහස්‌ විමසීමෙන් හෝ සංවාදයකින් තොරව තමන්ට අවශ්‍ය දේම ඒකපාර්ශ්වීය ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමේ අවසාන ප්‍රතිඵලය කිසිවකුටවත් හොඳ එකක්‌ නොවේ. අද මේ ආණ්‌ඩුවට සිදුවී ඇත්තේ ද එයයි. ආණ්‌ඩුවේ බොහෝ දෙනෙක්‌ගෙන් ඒ කතිකාව ගිලිහී ගොස්‌ ඇත. අනුන්ගේ අදහස්‌ විමසීම, අනන්‍යයන්ට සවන්දීම සහ සංවාදය යන කිසිවක්‌ අද ආණ්‌ඩුවේ සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ දක්‌නට නැත. ආණ්‌ඩුවට අනුන්ගේ අදහස්‌ විමසීමට මතක්‌ වන්නේ තමන්ට අවශ්‍ය දේ ඒකපාර්ශ්වීය ලෙස ක්‍රියාත්මක කරන්නට ගොස්‌ සියල්ල කෙළවුණු පසුවය. වැඩේ ඇනගත් පසුවය.


කලක්‌ "ජනසභා" වැඩපිළිවෙළ ගැන රජය මහ ඉහළින් කතා කළේය. මහින්ද චින්තනයේ සඳහන් ජනසභා වැඩපිළිවෙළ ගැන රජයේ අය - වැය ලේඛනයටද ඇතුළත් විය. ජන සභා ලේකම්වරු බඳවා ගැනීමට ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකර උපාධිධාරීන්ගෙන් අයදුම්පත්ද කැඳවනු ලැබිණි. මේ ගැන එවකට මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡා ද තිබුණි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාද ඒ ගැන ඒ දිනවල හරි හරියට කථා කළා පමණක්‌ නොව තම අමාත්‍යාංශය යටතේ ජන සභා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්‌ද පත් කිරීමට පියවර ගත්තේය. මේ තනතුරට පත් කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ද මේ ජනසභා ගැන ඒ දවස්‌වල ලොකු ලොකු කතා කීවේය. එහෙත් අද මේ කිසිවෙක්‌ ජනසභා" ගැන කතා කරන්නේ නැත. එහෙත් ඇත්තටම "ජනසභා" වැඩපිළිවෙළට සිදුවූයේ කුමක්‌ද? ඒ ගැන කිසිවෙක්‌ දන්නේ නැත. අහන්නට කෙනෙක්‌ නැත. ඒ ගැන රටට කරුණු පැහැදිලි කිරීමක්‌ද නැත.

අද "දිවිනැගුම" වැඩපිළිවෙළටද එදා "ජනසභා" වැඩපිළිවෙළට මෙන්ම රජය ඉහළම ප්‍රසිද්ධිය ලබා දෙමින් සිටී. මාධ්‍යවේදීන් වශයෙන් අපිද මේ සංකල්පය හොඳ එකක්‌ බවට අගය කළෙමු. එහෙත් මේ වැඩපිළිවෙළ සාර්ථක වීමට නම් "දිවිනැගුම" වැඩපිළිවෙළට නිරන්තර පසුවිපරමක්‌ අවශ්‍ය බව ද අපි ඒ දිනවලම පෙන්වා දුන්නෙමු. දිවිනැගුම වැඩපිළිවෙළේ අද තත්ත්වය කුමක්‌ද? ගෙවතු වගා දශලක්‌ෂයෙන් මේ වන විට කොපමණ ප්‍රමාණයක්‌ ආරම්භ වී තිබේද? ආණ්‌ඩුවෙන් ලබාදුන් බීජ පැළ වී තිබේද? මේ වැඩපිළිවෙළේ අඩුපාඩු මොනවාද? මේ ගැන අද කිසිදු සංවාදයක්‌ දක්‌නට නැත. දිවිනැගුම පටන් ගන්නා විට ඒ ගැන මාධ්‍යවේදීන් සහභාගි කරවාගෙන වැඩමුළු තියන්නට, ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නට මුලදී ලොකු උනන්දුවක්‌ තිබිණි. වැඩේ පටන්ගන්නා විට ඒ සඳහා ප්‍රසිද්ධිය ගැනීමට මාධ්‍යවේදීන් අවශ්‍ය වුවත් ඉන් පසු රජය මාධ්‍යවේදීන් අමතක කර දමති. වඩාත් වැදගත් වන්නේ රජයේ වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ විවේචනාත්මක සහාය ලබා ගැනීමයි. රජයේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති, සැලසුම් හා සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට ඉඩකඩ සලසා දීමයි. "දිවිනැගුම" වැඩසටහන යටතේ ගෘහ ආර්ථික ඒකකවලට බෙදා දුන් බීජ හරිහැටි පැළ වන්නේ නැති බවටද චෝදනාවක්‌ තිබේ. ඒ බව පුවත්පත්වල පළවූ පසු ඒ ගැන කරුණු පැහැදිලි කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියා සිටියේ එම බීජවල පැළවීමේ ශක්‌තිය සියයට 70 ක්‌ තරම් ඉහළ මට්‌ටමක පවතින බවයි. කවරක්‌ නමුත් "දිවිනැගුම" වැඩසටහනේ හඬ තරමට වැඩක්‌ වී තිබේද? එම වැඩපිළිවෙළේ සාර්ථකත්වය ඇගයීමට ඇති පසුවිපරම් වැඩපිළිවෙළ කුමක්‌ද? දැන් මේ ගැන රටට දැනුවත් කිරීමක්‌ අවශ්‍යය.

බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා නිතර නිතර ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නට එතරම් කැමැත්තක්‌ නොදක්‌වන බව අපට දැනගන්නට තිබේ. එහෙත් මාස කිහිපයකට සැරයක්‌ හෝ අඩු තරමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ආවරණය කරන මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් වත් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වන්නේ නම් එය ඉතා ප්‍රයෝජනවත්ය. එමගින් ප්‍රතිලාභ ලැබෙන්නේ මේ රටේ මහජනතාවටයි. අපි නොයෙක්‌ විට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැඩසටහන්වල නොයෙකුත් වැරදි සහ අඩුපාඩු ගැන සාකච්ඡා කරමු. එහෙත් ඒ පිළිබඳ උරණ නොවී ඒ ගැන ඉතා මැදහත්ව බලා එම අඩුපාඩු සහ වැරැදි නිවැරැදි කරගනිමින් ජාතියට ආර්ථික සෞභාග්‍යය උදා කරදීමේ සිය අමාත්‍යාංශයේ මෙහෙවර වඩාත් සාර්ථක කර ගැනීමේ ඉදිරි දැක්‌මක්‌ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට ඇතැයි අපි සිතමු. "ආර්ථික යුද්ධය ජයගැනීම, මැයෙන් මා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්‌වූ 2011 ජනවාරි 28 දිනට පෙර දින (27) "යුද ජයග්‍රහණයෙන් පසු ආර්ථික සහන කෝ" මැයෙන් වූ මේ ලියුම්කරුගේ ලිපියක්‌ද "දිවයින" පුවත්පතේ පළව තිබිණි. ඊට පසුදින ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා එම ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, එය ආණ්‌ඩුව ගැන බරපතල විවේචනයක්‌ ලෙස පෙනුණත් එය මහජනතාවගේ හදගැස්‌ම හඳුනාගැනීමට ආණ්‌ඩුවට ප්‍රයෝජනවත් ලිපියක්‌ වන බවයි. ඒ නිසා රජයේ වැඩපිළිවෙළ ජනමාධ්‍ය තුළ පළවන විවේචන ගැන රජය සැලකිය යුත්තේ සහයෝගයක්‌ වශයෙනි. එම මාධ්‍ය වාර්තාවල සඳහන් අඩුපාඩු සහ වැරැදි ගැන සොයා බලා ඒවා නිවැරැදි කරගෙන ඉදිරි වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කරගැනීමට ආණ්‌ඩුවට ඉන් අවස්‌ථාව සැලසෙන බැවිනි.

දැන් කවුරුත් බලා සිටින්නේ ආර්ථික යුද්ධය දෙසයි. මේ ආර්ථික යුද්ධය ජයගැනීමට රජයට පුළුවන් වේද? ආර්ථික යුද්ධය ජයගැනීමට සමත් වැඩපිළිවෙළක්‌ රජය සතුව තිබේද? රජයේ වත්මන් ක්‍රියාකාරීත්වය අනුව මේ ප්‍රශ්න අප හමුවේ තිබේ. ආර්ථික සංවර්ධනය යන්න රටේ සෑම අංශයකම දායකත්වයෙන් ඇති කරගත යුත්තක්‌ වුවත් රටේ ආර්ථික යුද මෙහෙයුමේ පුරෝගාමී මෙහෙවර පැවරී ඇත්තේ ඇමැති බැසිල් රාජපක්‍ෂගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටය. ඒ නිසා යුද ජයග්‍රහණයෙන් පසු කවුරුත් කතා කළ, කතා කරන ආර්ථික යුද මෙහෙයුම හරියට මෙහෙයවීමේ වගකීම ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටය. එහිදී බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට තම අමාත්‍යාංශයේ මෙහෙවර පමණක්‌ නොව රටේ සියලු අමාත්‍යාංශ ආර්ථික යුද්ධය ජයගැනීමේ ඉලක්‌කය ජයගැනීම සඳහා හරිහැටි මෙහෙයවා ගත යුතුව තිබේ. මෙය ඉතා පුළුල් වගකීමකි. මේ වගකීම ඉටුකිරීමට නම් ඒ සඳහා වන බලය මෙන්ම මනා කැපවීමක්‌ද තිබිය යුතුය. බැසිල් රාජපක්‍ෂ ඉතා දක්‌ෂ හා කාර්යශූර ඇමැතිවරයෙක්‌ බවට බොහෝ දෙනෙක්‌ තුළ පිළිගැනීමක්‌ තිබුණත් "පටන් ගත්ත දවස්‌වල තිබුණු ගැම්ම දැන් නෑනෙ" කියා කියන ඇතැම් අයද සිටිති. එය ඇත්තනම් මුලදී තිබුණ ගැම්ම දැන් නැත්තේ ඇයි? මේ ආණ්‌ඩුව තුළ වැඩ කිරීමට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාටත් බාධා තිබෙන්aනේද? ඇතැම් වෙබ් අඩවිවල සඳහන්ව ඇති පරිදි ජනාධිපතිවරයාත් ඇමැති බැසිල් රාජපක්‍ෂත් අතර බරපතල විරසකයක්‌ ඇතිව තිබෙන්නේද? නැත්නම් මේවා පට්‌ටපල් බොරු කථාද? ඒ ගැන කියන්නට අප හරියටම දන්නේ නැත.

යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභ තුළින් ආර්ථිකය වර්ධනය වෙමින් තිබෙන බව ඇත්තය. සංචාරක පැමිණීම් ඉහළ යමින් තිබෙන බවද ඇත්තය. ආර්ථිකයේ සෙසු අංශද එසේමය. එහෙත් යුද ජයග්‍රහණයේ උපරිම ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් ලබාගැනීමට සමත් ආර්ථික වැඩපිළිවෙළක්‌ රජය සතුව තිබේද යන ප්‍රශ්නය අප තුළ තිබේ. කවරක්‌ නමුත් දැනට ක්‍රියාත්මක කර ඇති ආර්ථික සැලසුම් හා වැඩපිළිවෙළ ගැන හෝ නිරන්තර පසු විපරමක අවශ්‍යතාවද අපි අවධාරණය කරමු.


ශ්‍යාම් නුවන් ගනේවත්ත