If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 24, 2011

පේරාදෙණිය අංශ ප්‍රධානීන් තනතුරුවලින් ඉවත්වීම වළක්‌වන්නැයි ඉල්ලා ශිෂ්‍යාගෙන් අලුත් පෙත්සමක්‌

දිවයින 24/06/2011

රිට්‌ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනේ

සරත් ධර්මසේන

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන් සිය තනතුරුවලින් ඉවත්වීම වළක්‌වන නියෝගයක්‌ ඉල්ලා එහි කලා පීඨයේ ශිෂ්‍යයකු විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ රිට්‌ පෙත්සම ඊයේ (23 වැනිදා) ඉල්ලා අස්‌කර ගත් අතර ඒ වෙනුවට ඔහු අලුත් පෙත්සමක්‌ ගොනුකර ඇත.

අංශ ප්‍රධානී තනතුරුවලින් කලකට උඩදී ඉවත් වූ කීප දෙනකුගේ නම් ද මුල් පෙත්සමට ඇතුළත් කර තිබූ නිසා එය ඉල්ලා අස්‌කර ගන්නා ලෙසත් නීතිඥවරුන්ට උපදෙස්‌ දුන් බවත් ඒ වෙනුවට අලුතින් පෙත්සමක්‌ සකස්‌ කිරීම සඳහා දැනට සේවය කරන සියලුම අංශ ප්‍රධානීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ නීතිඥවරුන්ට බාර දුන් බවත් ඒ අනුව අලුතින් සකස්‌ කළ පෙත්සම මේ වනවිට අභියාචනාධිකරණයට ගොනුකර ඇති බවත් පෙත්සම්කරු මෝසමකින් ඊයේ දන්වා සිටියේය.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්කරුට මුල් පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට අවසර දුන්නේය.

මෙහි පෙත්සම්කරු හලාවත වින්ස්‌පීල්ඩ් වතුයායේ පදිංචිකරුවෙකි. අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ශ්‍රී ස්‌කන්ධරාජා හා විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ පෙත්සම කැඳවන ලදී.

නීතිඥ ගව්රි සංගරී මහත්මියගේ උපදෙස්‌ මත ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.