If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 23, 2011

සරසවි රැසක අධ්‍යයන කටයුතු ඇන හිටියි

අද දෙරණ 23/06/2011

දිවයිනේ විශ්ව විද්‍යාල රැසක අධ්‍යයන කටයුතු ඇන හිට ඇති බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් තමන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව මෙරට ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක සිසුන් අද දෙරණ වෙත ප්‍රකාශ කර සිටියේය.

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් විශ්ව විද්‍යාලවල කටයුතු ඇන හිට ඇති බව මේ සම්බන්ධයෙන් අද දෙරණ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උපලේකම් ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේය.

ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම සඳහා එම විශ්ව විද්‍යාලවල වාතාවරණයක් නොමැති බව හෙතෙම පෙන්වාදුන්නේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස අමාත්‍යාංශය ආචාර්යවරුන්ගෙන් ඉල්ලා ඇති බව මෙම තත්ත්වය පිළිබඳ අද දෙරණ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේය.

වැටුප් ගැටලුව පිළිබඳ අමාත්‍යාංශයට ඍජු තීරණ ගත නොහැකි අතර ඒ සඳහා භාණ්ඩාගාර අනුමැතිය අවශ්‍ය බැවින් ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බව සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් තමන්ට ලිඛිතව මෙවන් දැනුම් දීමක් නොමැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උපලේකම් ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා සඳහන් කළේය.

විසඳුම පිළිබඳව දැනුම්දීමක් නොමැතිව, අනාගත විසඳුමක් වෙනුවෙන් සිය වෘත්තීය ක්‍රියා මාර්ගය නවතා දැමිය නොහැකි බව හෙතෙම කියා සිටියේය.

පියවර තුනක් යටතේ මෙම ගැටලුව සඳහා විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එයින් පළමු පියවර ක්‍රියාත්මක කළහොත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හිටුවීමට කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.