If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, June 7, 2011

සරසවියට පහර දීම

Gadfly Zone, 06/06/2011

පෞද්ගලික විශ්‍රාම පනත ජනතා බලය ඉදිරියේ හකුලා ගන්න සිද්ද වුනත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටන තවමත් ඇදෙනවා. ඒකට විසඳුමක් ලඟකදී දෙන පාටක්ද නැත. සාකච්චා කරන්න ගිය අයටත් හිස් අතින් ම ආපහු එන්න සිද්ද වුනු බවයි ආරංචිය.

මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටන ඉතාමත් සාධාරණ එකක් බව හැමෝම පිලි ගන්න දෙයක්. ඔවුන්ගේ සුදුසුකම් , සේවය වගේම අනිත් රටවල ආචාර්යවරුන්ට ගෙවන වැටුප් දිහා බැලුවාමත් වැටුප් වැඩිවීමක් ඉල්ලීම ඉතාමත් සාධාරණයි . ඒ විතරක් නෙවේ, ඔවුන්ට වඩා අඩු සුදුසු කම් තියෙන මහා බැංකුව වගේ ආයතන වල සේවක වැටුප් දිහා බැලුවාම වි.වි. ආචාර්ය වරුන්ට කරන්නේ ලොකු අසාධාරණයක් කියලා පේනවා.

ඒත් ආණ්ඩුව මේ සාධාරණ ඉල්ලීම නොදී එක එක බයිලා කියමින් ඉන්නවා. ඒ විතරක් නෙවේ නොයෙක් අංශවලින් ඔවුන්ට පහර දෙනවා. ඒ වගේම මේ සටනට පුළුල් ජනතා සහයක් ලැබෙන බවක් පෙන්ටත් නැහැ. බොහෝ දෙනා හිතන්නේ මේක එයාලාගේ වැඩක්, මේක අපිට අදාළ නැහැ කියලා. නමුත් එක එහෙම නෙවේ. මේ ප්‍රශ්නය අපි කාටත් බලපාන එකක්.

ආණ්ඩුව ගෙන ඒක තර්කයක් තමා ආණ්ඩුවට සල්ලි නැහැ කියන ඒක. ඊ ලඟට කියනවා මේ ඉල්ලීම් දුන්නොත් අනිත් රජයේ සේවකයින්ටත් දෙන්න වෙනවලු. ඒක නිසා දෙන්නේ නැතිලු .ඒ මේ කතාව හරියි කියලා කියන්න වික්ටර් අයිවන් වගේ උදවියත් එලියට බැහැලා ඉන්නවා. මේ ඉල්ලීම දෙන්න පුළුවන් එක දීලා , දීපු එක සාධාරණීකරණය කරන්න බැරිද , තමන්ට තියෙන මහා මාධ්‍ය ඒකාධිකාරිය පාවිච්චි කරලා. ඔය ඕනේ තරම් එක පාවිච්චි කරලා තමන්ට ඕනේ වෙන වැඩ ඕනේ තරම් කර ගන්නේ.

ඒ අතරේ වීරවංශ වගේ පාරාජිකා වෙච්චි චරිත දාලා ආචාර්ය වරුන්ගේ සටනේ නායකයින්ට මඩ ගස්සනවා , ඔවුන් විදේශ ඒජන්තයෝ කියලා.

මේ අතරේ ආණ්ඩුව හීන් නූලෙන් ඔවුන් ගෙන් පලි ගනිමින් ඉන්නවා. තමන්ට අභියෝග කරන්න ආපු මුන්ට හොඳ පාඩමක් උගන්වන ඕනේ කියන ආකල්පයෙන් තමා ආණ්ඩුව වැඩ කරන්නේ.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සාධාරණ ඉල්ලීම් දෙන්න බැහැ කියන ආණ්ඩුව වෙන වෙන සේවාවල ඉන්න අයට නොයෙක් වරප්‍රසාද වැටුප් වැඩි වීම් ලබා දෙනවා, හරියට ආචාර්යවරුන්ට රිද්දන්න වගේ. මේ වගේ සිද්දි කීපයක්ම පහු ගිය දවස් වල ඇති වුනා.

මෙතුවක් කල් අමාත්‍යංශ ලේකම් වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට විතරක් තිබුණු රුපියල් 12,500 ක දුරකථන දීමනාව විශේෂඥ වෛද්‍යවරුන්ටත් ලබා දෙන්න තීරණය කලේ පහු දිනවල. ඒ විතරක් නෙවේ මෙතෙක් කල් රුපියල් 2000 ට සීමා වෙලා තිබුණු අනිත් නිලධාරීන්ගේ දුරකථන සීමාව රුපියල් 6000 හා 8000 දක්වා වැඩි කරලා.

ඊ ලඟට සංස්ථා සභාපතිලාට , අධ්‍යක්ෂකලාට ගෙවන දීමනා රුපියල් 90,000 ,80,000 දක්වා වැඩිකරා.

පහු ගිය සතියේ වාර්තා වුනා විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යන විට තීරු බදු රහිත වාහනයක් ගන්න බලපත්‍රයක් දෙනවා කියලා. මේකත් මෙච්චර කල් තිබුනේ පළමු පන්තියේ රාජ්‍ය නිලධාරීන්ට විතරයි. මෙහෙම කරන්නේ වෙනත් රජයේ සේවකයින්ට අවුරුදු පහෙන් දෙන වාහන තීරු බදු සහනය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට අවුරුදු 12 දක්වා වැඩි කරලා. ( මේක පස්සේ අවුරුදු 8 දක්වා අඩු කරා.)

මේ මොකද කියන්නේ. උඹලාට ඕනේ නම් අපිත් එක්ක , අපි කියන විදියට හිටපල්ලා, නැත්නම් කිසි දෙයක් දෙන්නේ නැහැ කියලා, බැරි නම් පලයල්ලා කියලා .

මේ තත්වය යටතේ ඇත්තටම සිද්ද වෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු රට හැරලා යන එක. එහෙම නැත්නම් ඔය ඇති කරන්න හදන පෞ ද්ගලික විශ්ව විද්‍යාල වලට එකතු වෙන එක. තමන්ට ජීවත් වෙන්න සෑහෙන වැටුපක් දෙන්නේ නැත්නම් වෙන මොකක්ද කරන්නේ?

ඒකෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩා ගෙන වැටෙනවා. ගුණාත්මක බව නැති වෙනවා. සමහර විට ආණ්ඩුවට ඕනෙත් ඒකම වෙන්න ඇති. රාජ්‍ය විශ්ව විද්‍යාල කඩා වට්ටලා පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් හදා ගන්න.

ඒ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් වෙන්නේ මාසෙකට ලක්ෂ ගණනක් වියදම් කරන පුළුවන් ධනපතීන්ට විතරයි. අපේ දරුවන්ට මොකද වෙන්නේ.

ඒ නිසා මේක විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිලිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවේ. මේක රටේ නිදහස් අධ්‍යාපනයේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක්.

ඒ නිසා මේ වෙලාවේ අපේ සහයෝගයනිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සරසවි ඇදුරන්ට දෙන්න ඕනේ.