If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, May 14, 2011

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු නවතී

සරසවි ආචාර්යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක්‌ ලබන සතියේ

නිලන්ත මදුරාවල

සිය වැටුප් වැඩිකරගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාවක්‌ ලබන සතියේදී පැවැත්වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කළ ඉල්ලීම අනුව මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇතැයි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට වුවද ආචාර්යවරුන් සූදානමින් සිටින අතර තමන් දරන පරිපාලන තනතුරුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සියයට අනූවක්‌ පමණ එක්‌ව සිටිති. අංශාධිපති, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක, ශිෂ්‍ය උපදේශක, පාඨමාලා සම්බන්ධීකාරක වැනි පරිපාලන තනතුරුවලින් ආචාර්යවරුන් ඉවත්වීම නිසා අධ්‍යයන කටයුතු පවා අඩාල වී තිබේ. විශේෂයෙන් රජරට, යාපනය, පේරාදෙණිය හා රුහුණ යන වෛද්‍ය පීඨ ද මෙම ක්‍රියාමාර්ගයට එක්‌ව සිටින අතර මේ නිසා එම පීඨයන්හි අධ්‍යයන කටයුතු නවතා දැමීමට සිදු වනු ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේය. විද්‍යාපීඨයන්හි රසායනාගාර විවෘත කිරීමේ වගකීම අංශාධිපතිවරු නොමැතිව පීඨාධිපතිවරුන් භාර නොගැනීම එම පීඨයන්හි අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක්‌ එල්ල වී තිබේ.

මේ අතර දස දහසක්‌ පමණ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලද ඉල්ලීම් කිහිපයක්‌ මුල් කරගනිමින් වැඩවර්ජනයකට සූදානමින් සිටින අතර ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අනුව වැටුප් වැඩිවීමක්‌ ලබාදෙන්නේ නම් විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සියලුම අංශයන්ට වැටුප් වැඩිකළ යුතු යෑයි විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයද ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.


Link: http://www.divaina.com/2011/05/15/news01.html