If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 27, 2011

උසස්‌ අධ්‍යාපනය දේශපාලනයෙන් භෞතීස්‌ම කිරීම


ජනතා පරමාධිපත්‍ය යෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ලෝකයේ කිසිදු රජයකට එම ජනතා පරමාධිපත්‍යය අභියෝගය ට ලක්‌ කරන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයකට පිවිසිය නොහැකි බව අපි දේව භාෂිතයක්‌ සේ අදහමු. එහෙත් අවාසනාව නම් තුන්වැනි ලෝකයේ බොහෝ රටවල දේශපාලකයන් ජනතාව රවටා බලය ගෙන අවසානයේ ඒ ජනතාව ඉතා පහත් පෙළේ ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් කිරීමයිs.

මහින්ද රාජපක්‍ෂ රජයට ද අද ඒ චෝදනාව අඩු වැඩි වශයෙන් එල්ල වෙයි. ජනතාවගේ හඬට කන් නොදී, විද්වතුන් අතර හෝ සංවාදයක්‌ ගොඩනැංවීමෙන් තොරව රජය එළඹෙන ඇතැම් අත්තනෝමතික තීන්දු තීරණ දෙස බලන විට දශක තුනක යුද්ධය නිමා කොට මේ රජය යටතේ ලද යුද ජයග්‍රහණය ජනතාවට පාරා වළල්ලක්‌ වීදොaයි වරෙක සිතේ.

තමන්ගේ සුජාත භාවය ගැනත් තම ධාර්මික රාජ්‍ය ප්‍රතිපත්තිය ගැනත් මහා ඉහළින් කතා කරන රජය ප්‍රායෝගික තලයේ දී ඒ ප්‍රකාශ නන් දෙඩවිලි බව දැන් දැන් ඔප්පු කරමින් සිටී. පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහිව තම විරෝධය පෑමට කම්හල්වලින් එළියට බට කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට පොලිසිය ලවා කළ ලැඡ්ජාසහගත පහරදීම රජයේ ධාර්මික යෑයි කියනා ප්‍රතිපත්ති ප්‍රායෝගික නොවන බවට වන අලුත්ම උදාහරණයකි. හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිය දී ඔහුගේ දියණියක විදේශගතව සිට මෙරටට පැමිණි අවස්‌ථාවේ ඇය ගුවන්තොටුපළ පරිශ්‍රයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම ද එදිරිවාදිකම් පිරිමසා ගැනීමක්‌දෝ යි සැකසිතෙන කාරණයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය දෙස අව්‍යක්‌ත ලෙස බැලීමත් රටේ අධ්‍යාපනය දැඩි අර්බුදයක පැවතිය දී විශ්වවිද්‍යාල සිසුන් සඳහා නායකත්ව පුqහුණු වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමෙන් පය "බරවායට පිටිකර බෙහෙත් බඳින්නා" බඳු වැඩ කිරීමත් රජය ජනතාවගේ සෝaපහාසයට ලක්‌වන කාරණා බවට අද පත්ව තිබේ.

මේ අතරින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ආරම්භ කළ නායකත්ව පුහුණු වැඩපිළිවෙළ පිළිබඳ අපි අද විමසුමින් විමසා බලන්නට කල්පනා කළෙමු.

රජය නායකත්ව පුහුණු වැඩසටහන හඳුන්වා දෙන්නේ එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ නායකත්ව හැකියාව, පෞරුෂය ගොඩනංවා ඔහු සමාජයට යහපත් පුරවැසියකු බවට පත් කිරීමට ගන්නා පියවරක්‌ ලෙසයි. මේ වැඩපිළිවෙළ කිසිසේත් සාර්ථක එකක්‌ නොවේ යෑයි කියන්නට තරම් අපි පූර්ව නිගමනයකට නො එළඹෙමු. එහෙත් ලංකාවේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින අර්බුදවලට මේ අවස්‌ථාවේ වන විසඳුම මේ යෑයි නොකියන්නට අපි ඉක්‌මන් වෙමු. මෙම වැඩපිළිවෙළ හැඳින්විය හැකි සරල හා කෙටිම විදිහ නම් මෙය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ බලය විශ්වවිද්‍යාල තුළින් දියකර හැරීමට ගත් ආරම්භක පියවරක්‌ බවයි.

පසුගිය කාල වකවානුවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය ඇති කළ ඇතැම් බරපතළ තත්ත්වයන් නිසා ඔවුන් පිළිබඳ ජනතාව තුළ කලකිරීමක්‌ ඇති වූ බව අප දන්නා කාරණයකි. බොහෝ විට නවක සිසුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ නවක වදය කා තුළත් භීතියක්‌ ඇති කළ අවස්‌ථා විය. නවක වදය දීමේ එබඳු බරපතළ තත්ත්වයක්‌ හේතුවෙන් පසුගියදා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පවා සිදුවූයේ අවාසනාවන්ත ලෙසය. ඒ නයින් බලන විට ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයන් විශ්වවිද්‍යාල පද්ධතියට හානිකර බව පිළිනොගන්නට තරම් අපි අඳ බාලයන් නොවෙමු. එහෙත් වගකිවයුතු රජයක පියවර වියයුත්තේ එකට එක කිරීමක්‌ ද, එසේ නොවේ නම් අර්බුදය නිවැරැදිව අවබෝධ කොට ගෙන අත්තනෝමතික නොවී සුදුසුම විසඳුම සොයා ගැනීමට උත්සාහ කිරීම ද යන්න පැහැදිලි කරගත යුතුය.

පළමුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු කවරෙක්‌ දැයි නිර්වචනය කර ගැනීම උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමකි. අණට කීකරු වන ශිෂ්‍යයකු හැදීමට නම් විශ්වවිද්‍යාලයක්‌ අවශ්‍ය නැත. අණට කීකරු වන්නා විද්‍යාර්ථියකු ලෙස හැඳින්වීම ද හාස්‍යයකි. එහෙයින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ස්‌වාධීන චින්තනයකින් යුතු පෞරුෂයකින් හෙබි අයකු විය යුතු ය. යුද හමුදා කඳවුරකට ගාල් කොට ශිෂ්‍යයකු තුළ ගොඩනැඟිය හැකි නිදහස්‌ චින්තනය කුමක්‌ දැයි මේ වැඩපිළිවෙළ යෝජනා කළ දේශපාලක අභිවාදකයන් රටට පැහැදිලි කළ යුතුව ඇත. අනෙක්‌ අතට විශ්වවිද්‍යාල පද්ධතියට මෙබඳු දේශපාලන අතපෙවීමක්‌ කිරීමට මඟහසර විවර කළ ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වය ද මේ අවස්‌ථාව තම ක්‍රියාකාරීත්වයන් පිළිබඳ තක්‌සේරුවක්‌ කිරීමට හොඳම අවස්‌ථාවක්‌ කරගත යුතුය. අප එසේ පවසන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ නවකවදය තම ප්‍රචාරණ උපක්‍රමයක්‌ ලෙස භාවිත කළ හෙයිනි.

එහෙත් එදාට සාපේක්‍ෂව අද විශ්විවිද්‍යාල පද්ධතිය තුළ ජනතා විමුක්‌ති පෙරමුණේ බලය හීන වී ගිය තත්ත්වයකි පවතිනුයේ. එය මහා දේශපාලනය තුළ ද එසේමය. එහෙත් රාජපක්‍ෂ රජය එසේ සිතන්නට සූදානම් නැත. මන්ද යථාර්ථය මත පදනම්ව දේශපාලනය කරන්නට ගියහොත් තමන්ගේ න්‍යාය පත්‍ර සියල්ල උඩු යටිකුරු වන බව රාජපක්‍ෂ රජය හොඳින්ම දනී. ජනතා විමුක්‌ති පෙරමුණ පමණක්‌ නොව වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බව හෝ හිතන්නට රජය සූදානම් නැත. එහෙයින් සංකල්පීය හතුරන් නිර්මාණය කොට ගෙන තම දේශපාලනය ක්‍රියාත්මක කිරීමය මේ සිදුවනුයේ. විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් රජයේ අලුත් වැඩපිළිවෙළ ද එබඳු සංකල්පීය හතුරකුට එරෙහි ව්‍යාපාරයක්‌ ම මිස අනෙකක්‌ නොවන බව අප වටහා ගත යුතුව ඇත.

එහෙත් මේ එළඹුම රටේ අනාගතය සම්බන්ධයෙන් කොතරම් බරපතළ අනතුරක්‌ ද යන්න කිසිවකුට හෝ අදහසක්‌ නැත. එක්‌ අතෙකින් බලන කල අද අප ජීවත්වන මුළු සමාජයම පවතිනුයේ නිර්වින්දනය කළ තත්ත්වයක ය. තමනට එරෙහිව කොයිතරම් බරපතළ දේශපාලන ක්‍රියාමාර්ගයන් ඇති වුවද, ඒවා පිළිබඳ සංවේදී නොවන ජන සමාජයක අද අපි ජීවත් වෙමු. zසුපර් ස්‌ටාර්Z හෝ ඩී්‍රම් ස්‌ටාර් තරගකරුවකු ඉවත් වීමේදී දැනෙන දුකවත් තමන් දුක්‌මහන්සියෙන් ඉපැයූ මුදල් ටික විශ්‍රාම වැටුපක වේශයෙන් උදුරා ගන්නට තැත් කරන මොහොතේවත් නොදැනීම කොයිතරම් නම් අභාග්‍යයක්‌ ද .

දැන් අපි නැවතත් රජයේ නායකත්ව පුහුණු වැඩසටහන දෙසට හැරෙමු. මෙම වැඩසටහන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලද දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක්‌ වුව ද, මෙය සෘජුවම විශ්වවිද්‍යාල පද්ධතිය හා බැඳෙන වැඩපිළිවෙළකි. එසේ නම් ඒ සඳහා මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් කිනම් දායකත්වයක්‌ ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුව ඇත. දන්නා තරමින් නම් මේ වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කිසිදු පූර්ව පැහැදිලි කිරීමක්‌ කර නැත. අදාළ කඳවුරුවල පැවැත්වෙන දේශන සඳහා සහභාගි වන ලෙස දැන්වූ ලිපියක්‌ පමණක්‌ ආචාර්යවරුන්ට පෞද්ගලිsකව ලැබුණු බව දැන ගන්නට ඇත.

මෙය 1978 විශ්වවිද්‍යාල පනතින් තහවුරු කළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා විශ්වවිද්‍යාල පද්ධතියේ ස්‌වාධීනත්වය අමු අමුවේ උල්ලංඝනය කිරිමකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇමැතිවරයාගේ හෝ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ පවතින රාජ්‍ය දෙපාර්තමේන්තුවක්‌ නොවන බව එම පනතේ පැහැදිලිව දක්‌වා තිබේ. එවන් තත්ත්වයක්‌ තුළ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් මෙබඳු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනුයේ කුමන නෛතික පදනමක්‌ යටතේ ද යන්න පුදුමයට කාරණයකි.

අදාළ පනතේ 15 වැනි වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල පැහැදිලිව දක්‌වා ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාලවලින් ක්‍රියාත්මක කරන පාඨමාලා පිළිබඳ තීරණ ගැනීම විශ්වවිද්‍යාල පාලක සභාව හා සනාතන සභාව එකඟත්වයෙන් තීරණය කළ යුතුය. සිසුන් සම්බන්ධයෙන් වන මේ නායකත්ව පුහුණු වැඩසටහන එබඳු තීරණයකින් ක්‍රියාත්මක වන්නක්‌ ද යන්න පිළිබඳ රටට පැහැදිලි කිරීම නීතිඥයකු ද වන උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ වගකීමකි.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලි වනුයේ විශ්වවිද්‍යාල පාලක සභාව හෝ සනාතන සභාව මේ සඳහා තම දායකත්වය ලබා දීමක්‌ සිදු වී නැති බවය. එසේ නම් මෙය විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කිරීමේ අමූලික මැදිහත්වීමක්‌ ලෙසය අප දකින්නේ. මෙහි අවසාන ඵලය මේ රටේ නිදහස්‌ අධ්‍යාපනය පිළිබඳ බොහෝ තීන්දු තීරණ දෙන එකක්‌ විය හැක.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ රජයට ඇත්තේ අවංක වුවමනාවක්‌ නම් මෙබඳු වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රය තුළ හා බුද්ධිමතුන් අතර සංවාදයක්‌ ගොඩනැඟිය යුතුව තිබිණි. එයින් මතුවන අදහස්‌ හා යෝජනා විමසා එම නිර්දේශ විශ්වවිද්‍යාල පද්ධතියට භාර දී අවශ්‍ය පහසුකම් සැලසිය යුතුව තිබිණි. එබඳු පදනමකින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විණි නම් එය උත්තරීතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ආරක්‍ෂා කොට දී ඇති මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ස්‌වාධීනත්වයට ද අගෞරවයක්‌ නොවීමට ඉඩක්‌ තිබිණි.

එහෙත් මේ රටේ පැවැත්ම තීරණය කරනුයේ දේශපාලන සාධකම මත බව තහවුරු කරමින් පසුගියදා අරලියගහ මන්දිරයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා "දේශපාලනයෙන් භෞතීස්‌ම" කරනු අපි දුටිමු. තමන්ගේ කුසලතාවන් හා බුද්ධිමය හැකියාවන් උරගා බලා කඩඉම් විභාගයකින් උපරිම හැකියාවන් පෙන්වූ බුද්ධිමත් දරු පරපුරක්‌ අණට කීකරු වන, ජ්‍යෙෂ්ඨත්වයට යටත් වන නිවට නියාලු පරපුරක්‌ කර දේශපාලන එහෙයියන් කරන වැඩපිළිවෙළ සර්වබලධාරී දේශපාලනයේ අනුහසින් භෞතිස්‌ම ලබා අවසන් ය.

තවත් වසර කීපයක්‌ ගෙවී යනවිට මේ වැඩසටහන ද "ගොබෙල්ස්‌ න්‍යායට" යටත් වනු ඇත. එදාට මේ ක්‍රමයට විරුද්ධ ක්‍රමයක්‌ අපට හදා දෙන්නේ ද මේ දේශපාලනයම නොවේදර?


නිරෝෂන් හැඳලගේ
http://www.divaina.com/2011/05/27/feature01.html